සිංහල සිනමාවේ `කෙල්ල` මාලිනී !  

සිංහල සිනමාවේ `කෙල්ල` මාලිනී !   
මාලිනීව මා මුළින්ම දැක්කේ කොහේ කොතැනකදැයි කල්පනා කරන  විට,  `මල් වැහි සීතල මල් වැස්සේ - මල් මදහාසය මං දැක්කේ` යන චිත්‍රපට ගීතයේ රූප රාමු පෙළ සිහිපත් වෙයි.  ඉතා කුඩා කාලයේ දවසක රත්මලාන පත්මා සිනමාහලේදී නැරඹු `හොඳට හොඳයි` චිත්‍රපටයේ එන ජෝති - ඇන්ජි ගැයූ ඒ ගීයට රංගනයෙන් පණ දෙන්නේ ගාමිණී සමග මාලිනීය. එහි ඈ රැඟුවේ `චම්මි` නමැති කෙල්ලකගේ චරිතයකි. ගාමිණී ළංවන විට ආදරෙන් ලැජ්ජාවෙන් හැකිළෙන හිනැහෙන ආදරය ඉල්ලන ඇස් දෙකක් තිබූ කෙල්ල, ඈ වූවාය.

 
ගාමිණී - මාලිනී සමග මල් වැහි සීතල මතක නිම්නය දිගේ පියමං කරන විට ඒ ළඟම කඳු මුදුනකදී `සුදු පාට මීදුම් ගලාලා - අර පේන කන්දේ හැපීලා` යනුවෙන් ඇසෙන්නට පටන් ගනියි. මා ඈව දුටු ඒ ලස්සන චිත්‍රපටය `එදත් සූරයා අදත් සූරයා`ය. එහි කෙල්ල `කාන්ති` ය. කාන්තිට පණ දෙන්නේ මාලිනීය. ගාමිණී ඇවිත් ඇගේ ගෙලවට මුහුණ යවමින් එහෙන් මෙහෙන් කැරකෙන විට සීතලෙන් ගැහි ගැහී කෝලිත්තම් කරන කෙල්ල, මුළු ලංකාවේම කොල්ලන්ගේ සිහින `කෙල්ල` වූවාය. `එදත් සූරයා අදත් සූරයා` හි මේ කෙල්ල මුළින්ම කොල්ලාට මුණගැසෙන්නේ කොල්ලකු සේ වෙස්වලාගෙන සිටියදීය. එහෙත්  `කොයි යන්නේ බඳ නලවාලා - ලැසි ගමනේ ඉඟ සොලවාලා` කියා, `කොකාගේ පාට අප දන්නේ - පියාඹන දාට වැටහෙන්නේ` කියාද
ගාමිණී ජෝතිගේ හඬින් කී විට කෙල්ලගේ කොලු වෙස් ගැලවෙයි. `ආවා සොයා ආදරේ` හි මෙන්ම `සූරයා සූරයාමයි` චිත්‍රපටයේ `නිලන්ති` නම් කෙල්ලන්  වූ මාලිනී, `හිතුවොත් හිතුවමයි` හි `අප්සරා` නම් කෙල්ල විය.  මෙතෙක් කී බොහොමයක් කෙල්ලන් වෙනින් කාගේවත් නෙවෙයි ලෙනින් මොරායස්ගේ සෙලෝලයිඩ් නිමැවුම්ය.

 
ලෙනින් මොරායස්ගේ පුරාවෘත්ත සිනමාවේ මතක හිටින රූප රාමු දැක කලකට පසු මේ කෙල්ල නැවත මගේ ඇස ගැටෙන්නේ හලාවත සාගර සිනමා ශාලාවේදීය. ඒ සේන සමරසිංහගේ `කස්තුරි සුවඳ` චිත්‍රපටයේ කෙල්ල `කාංචනා` ලෙසය. කාංචනාට කොල්ලා හමුවන්නේ මහපාරේදීය. ගාමිණී පැමිණෙන්නේ බන්දු ෆ්‍රෙඩි නාමෙල් සහ දෙහිපිටිය සමගය. තමන්ට විහිළු කළ කොල්ලන්ට තරවටු කරන්නට මෙන්  මුළින් සෙරෙප්පුව අතට ගන්නාකෙල්ල, `ලස්සන ලෝකෙක ඉපදීලා - නූපන් හෙට ගැන නොතැවීලා` යනුවෙන් ගයා අහවර වන විට සිටින්නේ සිනා මුසු මුහුණෙනි. ගීතය පුරා බොරු නෝක්කාඩුවකින් කොණ්ඩ කරළ නිකටේ ගාවමින් ගස්සමින් බල බල, හැඩ පා යුග පෙනෙන සේ කොට ගවුමක් ඇඳන් ඇවිදින දඟකාර කෙල්ල මාලිනීය. එතැනින් ඇරඹෙන කස්තුරි සුවඳේ ගී මිහිර, හදවිමන් දොරෙන් එන පැතුම් පවන් මැද පාට පොදක් තිලක ලා ගලා ගියේ මේ කෙල්ලගේ අරුමැසි රංගනයෙන් ඔපවත් වෙමිනි.

 
එක්දාස් නවසිය හැත්තෑ හයේ ආ `කවුද රජා` චිත්‍රපටයේත් කෙල්ල මාලිනීය. කොල්ලා ගාමිණීය. කොල්ලා දුප්පත්ය. කෙල්ල `චින්තා` පෝසත්ය. කෙල්ල පුංචි හාමිනේ ටවුමේ ඉස්කෝලේ ඉගෙනගෙන නිවාඩුවට ගමේ එන තිරික්කලය පදවන්නේ දුප්පත් කොල්ලාය. ඒ එන ගමන් කියන සිංදුව `පන්දම් අල්ලා ගත් නම්බු නාමේ - මේ කාලේ අවලංගුයි නෝනේ` යන්නය. ඒ සිංදුව ඒ කාලය වනවිට ජනතා අප්‍රසාදයට ලක්වී සිටි සිරිමාවෝට `වැදෙන්නට` ලියූ එකක් බව සිතන්නටත් පුළුවන.  ඉතින් ඒ පාලන කාලය අවලංගු කරමින් හැත්තෑ හතේ යූ ඇන් පී ආණ්ඩුවක්  ආවේය. තවත් කලකට පසු `කවුද රජා` චිත්‍රපටයේ `කොල්ලා` පාර්ලිමේන්තු ගොස් නියෝජ්‍ය කතානායක පුටුවටත් ආවේය. ඊටත් අවුරුදු ගානකට පස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස අපගේ
`කෙල්ල` ඒ පාර්ලිමේන්තුවටම පැමිණීම දෛවෝපගතය. කෙල්ලගේ ජීවිතයේ කාගෙන් හෝ දොසක් වචනයක් ඇසුවානම්, අවාසනාවට ඒ ඇසුවේ පසුගිය කාලයේ දේශපාලන පිටියේ ඈ අනුදත් `කවුදෝ රජෙක්` නිසාය.

 
ලෙනින් මොරායස් මෙන්ම තවත් බොහෝ අධ්‍යක්ෂවරුන් එකට එකක් වගේ සිනමාවට යොදාගත් ගාමිණී - මාලිනී ජෝඩුව මෙන්ම විජේ - මාලිනී ජෝඩුව ද ලංකා සිනමා රසික ඇස් සනහාලූ අග්‍රගන්‍ය ජෝඩුවක් විය. ලෙනින් මොරායස්ගේ `උන්නත් දහයි මළත් දහයි` හි නදීකා නම් කෙල්ලගේ ගේ චරිතයද මාලිනි රඟපෑවේ විජේ සමගය. `මා කිසිදාක නොමැත කියාලා - ඔබ සනහාලමින් එමි සිනහාවෙමින්` යැයි ඇන්ජලින් ගයන ගීයට පණ දී විජේ ළඟ දැවටෙන කෙල්ල මාලිනීය. `හතරදෙනාම සූරයෝ` චිත්‍රපටයේ ප්‍රධාන කෙල්ලන්ගෙන් එකියක ලෙස මාලිනී රඟපෑවේ විජේ සමගය.  ඇය එහි පෝසත් බුද්ධිමත් කෙල්ල ය. විජය ජෝතිගේ හඬින්, `අහ අහ ආදරණීය සිනා ඔබේ` කියද්දී ආදරණීය සිනාවකින් මුව සරසාගෙන සාරියකින් සැරැසී දෑස් මානයේ මුහුදු වෙරළක දිව ගිය කෙල්ල `නිල්මිණි`, මාලිනීය.

 
මාලිනී, සිනමාවේ විජේගේ `කෙල්ල` වූයේ  වරක් දෙවරක්  නොවේ. `තුෂාරා` හි තුෂාරා වූ ඇය වෙනුවෙන්, `එපා වුවත් හෙට ඕනෑ වේ` කියා ජෝති හඬින් විජය ගයද්දී මාලිනී පෑ රංගනය යළි යළිත් බලන්නට ඕනෑ වෙනවා මිස එපා වන්නේ කොහොමද? `සංගීතා` හි සංගීතා වූ ඇය වෙනුවෙන්   `ඉර සඳ වැඳලා නෙත් ඇරලා අත ඔබෙ නළලෙ තියා`  කියා විජය කියන විට `හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරෙයි කියා` යනුවෙන් මාලිනීට කියන්නට නොසිතෙන්නේ කාටද ? `වාසනා` හි සුදර්ශි වූ ඇය වෙනුවෙන් `ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා` කියා මාලිනීට පවසන්නේ විජය පමණක් නොව මුළු රටේම පෙම්වත් කොල්ලන්ය. `දියමන්ති` චිත්‍රපටයේ විජය,මාලිනී රඟපෑ `චිත්‍රා` නම් කෙල්ලට අත්‍යවශ්‍ය මොහොතක කම්මුලට ගසන විට ඒ අහිංසක මුහුණ දැක අනුකම්පාවක් නොදැනෙන හදවත කාගේද ?

 
`සිනා සිසී එනවා සුසී` යන රේඩියෝ දැන්වීම යොදාගත් `සුසී` චිත්‍රපටයේ විජයගේ සුසී නමැති කෙල්ල වූ මාලිනී, කොල්ලා අතින් - එකල කතිකාව අනුව -
`අනාථ` වෙයි. තවත් වරෙක, විජය කොල්ලා වී මාලිනී පණ පොවන කෙල්ලව `බමරු ඇවිත්` හිදීද `අනාථ` වෙයි. ඒ හෙලන් ලෙසය. යසපාලිත නානායක්කාරගේ `රස සාගරයක්` වූ `නැවත හමුවෙමු` චිත්‍රපටයේ කෙල්ල  තනිවන්නේ ඉන්ටවල් එක වනවිට කොල්ලා මියයන නිසාය. එහෙත් එහි විජය ඩබල් ඇක්ටින් හෙයින් බොරු රැවුලක් සහ කොණ්ඩයක් සහිතව වෙනත් චරිතයකින් යළි තිරයට පැමිණෙන්නේ ඉන්ටවල් එකෙන් පසුවය. සන්සුන් නිහඬ කොල්ලා ජීවිතයෙන් සමුගත් පසු නැවත හමු වූ සටන්කාමී වීර කොල්ලාට තම ආදරය පුදන, චිත්‍ර අඳින පරිණත කෙල්ල `මධූ` ට පණ දෙන්නේ මාලිනීය. සැබෑ ජීවිතයට ඉන්ටවල් නැති නිසා නවසිය අසූ අටේ පෙබරවාරි දාසය වනදායින් පසු කෙල්ලට කොල්ලා කවදාවත්ම නැවත හමුවූයේ නැත.

 
ගාමිණී සහ විජය සමග  පමණක් නොව සිංහල සිනමාවේ බොහෝ කොල්ලන් සමග මාලිනී කෙල්ලගේ චරිතය රඟපෑවාය. `අපේක්ෂා` හි අමරසිරි කලන්සූරියට ආදරය කරමින් `කලක් ඇවෑමෙන් පෙරුම් පුරා` කියා ඇන්ජි හඬින් ගැයූ නාගරික කෙල්ල `නිරංජලා`, මාලිනීය. `සත්වෙනි දවසේ` සනත් ගුණතිලකට ආදරය කළ අහිකුණ්ටික කෙල්ල `අගටන්නා` මාලිනීය. `හිතවතිය` චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණියට ආදරය කළ කෙල්ල `මහේෂි` මාලිනීය. `අහිංසා` හි ලකී ඩයස්ට ආදරය කළ කෙල්ල `සරෝජා` මාලිනීය. ඇගේ ආදරය රිදී තිරය පුරා විසිර පැතිර ගියේය. ඒ කිසි තැනක ආදරය අඩු නොකර - ඒ හැම තැනකම ඇත්තටම ජීවත් වූ - ඒ හැම නිමේෂයකම ඇත්තටම හුස්මගත් කෙල්ල මාලිනී යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

 
ඈ රඟපෑ `ආදරේ හිතෙනව දැක්කම`  චිත්‍රපටයේ මෙන්ම, කෙල්ල ලෙස රඟපෑ කොයි චිත්‍රපටයේ චරිතය ගැනත් ``ආදරේ හිතෙනව දැක්කම`` කියා කටපුරා මාලිනී ගැන කිව හැකිය. එහෙව් මාලිනීට තිරෙන් එපිට මෙපිට කොල්ලන් කී දෙනකු ආදරය කරන්නට ඇත්ද ? ඒ කෙසේ වෙතත්  මෙච්චර කොල්ලන් ගොඩක් එක්ක රඟපෑ මාලිනීගෙන්, සිනමාවේ හොඳම පෙම්වතා කවුදැයි වරෙක ඇසූ විට ඈ කියා තිබුණේ ටෝනි කියාය. ඒ, ඇතැම්විට මාලිනී සිනමාවට ආ මුල් කාලයේ හැදූ `ආදරවන්තයෝ` චිත්‍රපටයේ රඟපෑ ටෝනිගේ ප්‍රේමණීය රංගනය, එහි `සුමනා`නම් කෙල්ලගේ ගේ චරිතය රඟපෑ එවකට ආධුනික සිනමා ආදරවන්තියක  වූ මාලිනීගේ හදවතේ අමරණීය සලකුණක් තැබූ නිසාදැයි අප දන්නේ නැත.

 
කෙල්ලක තුළ තිබිය හැකි සහ තිබිය යුතු සියළු හැඟීම් දැනීම් ඉහිලීම් දැඟලීම් පැකිලීම් විෂයයෙහි අංශුවක් අංශුවක් ගානේ රිදී තිරයේ ඉසියුම් ප්‍රකාශනයක යෙදුනු මාලිනී ගැන ලියා අවසන් කරන්නට මේ දුප්පත් ලියමන මදිය. මේ කෙල්ලගේ ජීවිත කතාව වෙනම සිතුවමක් සේ සිනමාවට ගෙන ආ යුතුය. සිංහලසිනමාව තුළ රුක්මණීට ස්වර්ණාට අනෝජාට ශ්‍රියානිට ගීතාට නදීකාට වීණාට නීටාට සබීතාට සුමනාට සෝනියාට ක්ලැරිස්ට පුණ්‍යාට සන්ධ්‍යාට ජීවරානිට ෆරීනාට සංගීතාට දිල්හානිට මෙන්ම එකී නොකී  සියලු ආදරණීය රංගනවේදිනියන්ට හිමි ඒ ඒ ස්ථාන ඇත. ඒ සියල්ලන්  එසේ සිටියදී  පවා - ආයේ ඉතින් කතා දෙකක් නෑ -  සිංහල සිනමාවේ `කෙල්ල` මාලිනීය !

 
 
| විමල් කැටිපෙආරච්චි |