තරුණත් නොවන මහලුත් නොවන අම්මා ; චන්ද්‍රා !

තරුණත් නොවන මහලුත් නොවන අම්මා ; චන්ද්‍රා !
චන්ද්‍රා මට අඳුනගන්ඩ ලැබුණෙ වික්‍රමරත්නගෙ 'සහන් එළිය' පුහුණුවීම් කරන කාලයෙ. ඒ නාට්‍යයේ හිටියා අයිරින් වික්‍රමනායක කියලා ගෑණු ළමයෙකුත්. අයිරින් බොහොම විනීත, සුන්දර - ලස්සන නෙමෙයි සුන්දර - පෙනුමක් තිබුණු ගෑණු ළමයෙක්. උපාධි අපේක්ෂිකාවක් නැත්නම් උපාධිධාරිණියක්. ඉතින් සහන් එළියේ පුහුණුවීම් අස්සෙම සයිමන් නවගත්තේගම අයිරින්ට හිටු කියලා කවි ලියනවා. අයිරින් බෑ කියල කවි ලියනවා. ඒ කවිත් හැබෑ ම සුන්දරයි. පොතක පතක පළ කරන්ඩ තරම් සුන්දරයි. කලාකරුවෙක් එදිනෙදා ජීවිතේ තුළ කරල කියලා තියෙන, කිසිම තැකීමක් නොකර අහක දාන දේවල කොයි තරම් වැදගත්කමක් තියනවද ? කුණු කූඩාවලට වැටිලා අපතේ යන එව්වා එකතු කරලා පළ කෙරුවොත් මට නම් හිතෙන්නෙ සමහර වෙලාවට හිතල මතල උත්සාහ කරලා එළි දක්වන කලා කෘතිවලට වඩා සම්භාව්‍ය කෘතීන් බිහි වෙන්නත් ඉඩ තියේවි කියල යි.

ඉතින් සනී හිටු කියලා ලියන කවි වලට අයිරින් බෑ කියලා ලියපුහ‍ම නවගත්තේගමගෙ මනස ගිලන් වෙනවා. පුහුණුවීම් අප්සෙට් වෙනවා. චන්ද්‍රා මැදිහත් වෙනවා. ප්‍රශ්ණෙ යාප්පුවෙන් බේරලා පුහුණුවීම් ආයෙත් පටන් ගැනෙනවා. සිංහල වේදිකාවෙ චන්ද්‍රා කළුආරච්චි හඳුන්වන්න ඕනෑ කොහොම ද කියලා මම හුඟ කාලෙක ඉඳන් කල්පනා කර කර හිටියෙ. ඒකට ගැළපෙන වචනෙ මගෙ ඔලුවට ආවෙ දැනුයි. 

``චන්ද්‍රා කළුආරච්චි කියන්නෙ කිසිදාක තරුණත් නොවන මහලුත් නොවන සිංහල වේදිකාවෙ අම්මා.``


1960 දශකයේ මැද භාගයේ දී එස් . කරුණාරත්නගේ 'එරබදු මල් පොට්ටු පිපිලා' නාට්‍යයේ මාලනී ෆොන්සේකා අම්මා විදිහට රඟපානකොට චන්ද්‍රා රඟපෑවෙ කිරි අම්මගෙ චරිතෙ. එදා කිරි අම්මා වූ චන්ද්‍රා අද තවමත් වේදිකාවෙත්, ටෙලි නාට්‍යයේත් , සිනමාවෙත් අම්මගෙ චරිතෙ රඟපානවා. මම මේ කියන්න හදන්නෙ අපි වේදිකාවේ, ටෙලි නාට්‍යයේ, සිනමාවේ දකින ඒ අම්මා ගැන විතරක් ම නෙමෙයි.  

එදා නවගත්තේගමත් අයිරින් වික්‍රමනායකත් අතර ඇතිවෙච්ච  හෝ ඇති නොවෙච්ච කවිකාර පෙම් හබය සමහන් කරන්න ගිහින් චන්ද්‍රා වෙනත් ප්‍රශ්ණෙකුත් ඇති කර ගත්තා. ඒ ප්‍රශ්ණෙ වුණේ  `සනී චන්ද්‍රයා වටේ යනව ද ? චන්ද්‍රයා සනී වටේ යනව ද` කියන එකයි. ඒ මොන පද හැදුණත් කණ්ඩායමේ එක එකා අතරෙ, කල්ලි කණ්ඩායම් අතරෙ විතරක් නෙමෙයි ආශ්‍රය කරන කවුරු කවුරු අතරෙත් ඇතිවෙන සණ්ඩු සරුවල්, ආරවුල්, අර්බුද දුරදිග යන්ඩ නොදී මැදහත්ව ඉඳගෙන සමහන් කරන්න චන්ද්‍රට තිබුණෙ අනිත් කාටවත් ම නැති විදිහෙ දක්ෂතාවක්. ඒක හරියට දරුවන් අතරේ පැනනගින අරගලයක් පැත්තක් නොගෙන විසඳන සැබෑ අම්මා කෙනෙකුගෙ භූමිකාවක්. 

මේ භූමිකාව ප්‍රතිනිර්මාණය කිරීමෙන් නැති නම් රඟපාලා පෙන්වීමෙන් මිසක් වචනයෙන් පැහැදිලි කරලා දෙන්න බැරි එකක්.  චන්ද්‍රා කවදාවත් කවුරුවත් කොටවන විදිහෙ කටයුතු නොකරන කෙනෙක් වීම එයාගෙ චරිතෙ තිබුණ විශිෂ්ට ලක්ෂණයක්. ඒවාගෙ ම තමයි ලැබෙන ඕනෑ ම චරිතයක් සතුටින් භාරගන්නා කෙනෙක්. එහෙම භාරගෙනත් තමන් දන්නා ඔක්කොම ආලවට්ටන් දාලා රඟපානකොටත් අධ්‍යක්ෂකවරයා ``හොඳ නෑ`` යි කීවොත් ඒකත් සතුටින් භාර ගන්නා කෙනෙක්. ඊට පස්සේ සැරයක් දෙකක්, දහ දොළොස් වාරයක් නෙමෙයි විසිතිස් වාරයක් වුණත් කරලා නිවැරදි තැනට එන්න තරම් නිහතමානී ඉවසිලිවන්තකමකුත් චන්ද්‍රාට තිබුණා. තමන්ට ඇතිවෙන කේන්තියක් හිනාවෙන් අවසන් කරන එකම එක්කෙනා චන්ද්‍රා කළුආරච්චි විතරයි වෙන්ඩ ඇති.

| සුමන ආලෝකබණ්ඩාර | 

(සිංහල වේදිකාවේ රත්තරන් අවධිය පිළිබඳව ලියැවුණු `සුමන මතක` කෘතියෙන් උපුටා ගන්නා ලදී )

චන්ද්‍රා ගැන තවත් සටහනක් !
තරු අතර චන්ද්‍රා !!

නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයේ දුර රූපයකින් අපගේ කතාව ඇරඹේ. සීනුව නාදවෙයි. පාසැල එදින කටයුතු හමාර කරයි. අවුරුදු දහතුනක දාහතරක වයස යැයි සිතිය හැකි ගැහැණු ළමුන් පොකුරක් පාසැල නිමවී කිචි බිචි ගාමින් එන අයුරු පෙනෙයි. ඒ අතර සිටින එක් හුරුබුහුටි තලෙළු දැරියක වෙතට කැමරාව යොමුවෙයි. සිනා සිසී මිතුරියන් සමග මොන මොනවාදෝ කියන ඇගේ සමීප රූපයක් මුසු වන්නේ මයික්රෆෝනයක් අබියස යමක් පවසන ඇගේම රුවටය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියයි. නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා පිටිය දක්වා ආ අසිරිමත් ගමන, ලංකා ගුවන් විදුලියෙන් නොනැවත වේදිකාව සිනමාව රූපවාහිනිය ආදී රංගනය කිමිදවිය හැකි සකල විධ කලා මාධ්‍යයන් සිසාරා සැරිසැරූ චාරිකාවක් බවට පත් කරගත් කන්කානම්ගේ චන්ද්‍රා කළුආරච්චි, ස්වකීය හැත්තෑ හය හැවිරිදි ජීවිතයට පසුගිය නොවැම්බර් පළමුවැනිදා සමුදුන්නා ය.

 

1961 දී ගුවන්විදුලි හඬ නළුව සමග අත්වැල් බැඳගත් ඇය ගුවන් විදුලි රඟමඩල, මුවන්පැලැස්ස, හේන් යාය, විශ්ව සාහිත්‍ය නාට්‍ය පෙළ, දඹතැන්න, පහන් සිළුව ආදී ගුවනේ රැව්දුන් නාට්‍ය ගණනාවකට ස්වකීය හඬ පෞරුෂය මුසු කළාය. ඒ සියලු රංගන කර්තව්‍යයන්වලදී ලක්ෂ සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ සවනත රැඳුණු මතක සලකුණු තබමින් ඔවුනගේ හදවත් තුළ ලැගුම් ගන්නට චන්ද්‍රා කළුආරච්චි සමත් වූවාය.

 

ගුවන් විදුලියේ නොපෙනෙන රංගයට පණ දුන් චන්ද්‍රා එයින් ටික කලකට පසු දෘශ්‍යමාන වේදිකාවට ගොඩ වූයේ ලංකා වේදිකාවේ ඈට ම ආවේණික සජීව සලකුණක් සනිටුහන් කරමිනි. ඒ, රත්තරන් පුතා හෙයියම්මාරුව නාට්‍යයේ භූමිකාවකට එක්වෙමිනි. එතැන් සිට ඉබිකට්ට - ඉඩම - මායාදේවී - වහලක් නැති ගෙයක් - අහසින් වැටුණු මිනිස්සු - බක්මහ අකුණු - ගජමන් පුවත - කාමරේ පොරේ - තුරඟ සන්නිය - උමතුසං වරුසාව - දොන් ජුවන්- හොටබරි යුද්ධෙ - සුබ සාධක - යාත්‍රා - අවි ආදී ඓතිහාසික වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ධ වන්නට චන්ද්‍රා කළුආරච්චි භාග්‍යවන්ත රංගන ශිල්පිනියක් වූවාය. වේදිකාවේ පෙළහර පෑමෙන් දෙවරක් හොඳම නිළිය ලෙස ද, දෙවරක් හොඳම සහාය නිළිය ලෙස ද රාජ්‍ය සම්මානයට පාත්‍රවන්නට ඇය සමත්විය.

 

වේදිකාවෙන් නතර නොවුණ චන්ද්‍රා කළුආරච්චි ලංකාවේ සිනමාවේ ඇයට හිමි තැන සොයා සෙමෙන් සෙමෙන් පිය නැගුවාය. ඒ ගමනේදී චරිතාංග රංගනයේ ඇයටම ආවේණික වෙසෙස් සලකුණක් තබන්නට චන්ද්‍රා කළුආරච්චි සමත් වූවාය. තුන්මංහන්දිය - බක්මහ දීගේ - වැලිකතර - මාතර ආච්චි - පාරදිගේ - ආරාධනා - පවුරු වළලු - සෙයිලම - සෙලීනාගේ වළව්ව - රෑ මනමාලි - හිමකතර - යුවතිපති - උත්පලවන්නා - සුදු අක්කා - වජිරා - සිහසුන - සිරිල් මල්ලි - හද්දින්නත්තරු - බොරදිය පොකුණ ආදී විශිෂ්ට චිත්‍රපට හතළිහකට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය සැපයූ ඈ, ඩී.බී. නිහාල්සිංහ - ගාමිණී ෆොන්සේකා - මහගම සේකර - ටයිටස් තොටවත්ත - විජය ධර්ම ශ්‍රී - සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ආදී ප්‍රතිභා පූර්ණ අධ්‍යක්ෂවරුන්ගේ නිමැවුම් සෙවණැල්ල යට අසිරිමත් රංගනයන් විදහා දැක්වීමට තරම් වාසනාවන්ත නිළියක් වූවාය.

 

මේ අපූරු රංගන ශිල්පිණිය රඟන්නටම උපන්නාක් මෙන් වූවාය. කිසියම් පොදුජන කලා මාධ්‍යයක රංගනය වී නම් ඈ එතැන සිටියාය. රූපවාහිනිය ලංකාවට නවමු සන්නිවේදන අත්දැකීමක් එක්කාසු කරන විට ටෙලි නාට්‍යය නමින් පෙර නොවූ කලාංගයක් ස්ථාපිත විය. එහි පළමු පිය සටහන වූයේ ඩී.බී.නිහාල්සිංහ සූරීන්ගේ දිමුතු මුතු මාලා නාටකයයි. චන්ද්‍රා කළුආරච්චිගේ රූපවාහිනී ආගමනය ද දිමුතු මුතු හරහාම සිදුවීම සුවිශේෂීය. ඒ සුවිශේෂ චාරිකාව දූ දරුවෝ - නාමල්ගොල්ල - සත්මහල - ඉන්ගම්මාරුව - පිටගම්කාරයෝ ආදී ටෙලිනාටක ගණනාවක් ඔස්සේ ඇදී ගියේය.

 

ස්වකීය කලා සන්ධිස්ථානයන් පසුකරමින් ජීවන පිය සටහන් තබමින් ඇවිද ගිය චන්ද්රාට හිමි දෛව හදවත තිබුණේ තවත් වෙනස් වෙසෙස් මිනිසකු ළඟය. චන්ද්‍රා කළුආරච්චිගේ ජීවිතයේ අනෙක් අඩ වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරය. 1975 දී හැදූ ඔවුන්ගේ සොඳුරු කැදැල්ල, චන්ද්‍රාගේ ජීවිතයේ අර්ථයට ආදරයේත් විශ්වාසයේත් සුන්දරත්වය එක් කළේය. රංගන ශිල්පිනි අමා ශාක්‍යා විජේසේකර චන්ද්‍රා ලක්ෂ්මන් යුවළගේ වැඩිමහල් දියණියයි. ඔවුනගේ පුත්‍රයා විහඟ විජේසේකර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වෘත්තීයක නිරත වෙමින් සිටියි.

 

චන්ද්‍රා කළුආරච්චි හැම මොහොතක ම අලුත් වූ රංගන වේදිනියකි. සමාජ ආර්ථික සංස්කෘතික කාරණා පිළිබඳව පමණක් නොව දේශපාලන කරුණු ගැන පවා ඇය සැලකිලිමත් වූවා ය. තම අත පත්වන චරිතය එහෙ මෙහෙ හරවා ඒ තුළට රිංගා ඒ තුළ ජීවත්වෙමින් නිර්මාණය පළුදු කර මතු නොවී නිර්මාණයත් සමගම මතුවන රහස චන්ද්‍රා කළුආරච්චි හොඳින් දැන සිටියාය. එය හුදු රංගනය පිළිබඳ වියළි තාක්ෂණික අවබෝධයක් නොව පොත පත කියවන - රට තොට සිදුවන දේ ගැන අවදියෙන් සිටින - මිනිසුන් කියවන සිතකට හිමිවන මහරු ජීවිතාබෝධයකි. අන්න ඒ නිසාම, හදිස්සියේ දිලිසී එක රැයෙන් කඩා වැටෙන උල්කාපාත අතර ඇය චන්ද්රාය. එපමණක් නොව රසිකයන් රංගනයෙන් උන්මාදයට පමුණුවන දිදුලන බොහෝ තරු අතර පවා චරිතාංග රංගන ආකාශයේ ඇගේ නමත් භූමිකාවත් චන්ද්රාය. ඇය, තරු අතර චන්ද්‍රාය.


| විසිකු |