කහට ගවුමෙන් ඇහැට කඳුළක් ! ඇහැ ළඟ ම කවි අරුංගලයක් !!

කහට ගවුමෙන් ඇහැට කඳුළක් ! ඇහැ ළඟ ම කවි අරුංගලයක් !!
'සිදුරක් පමණක් නොවේය ගැහැනිය' කියා ලියුවේ පරාක්‍රම කොඩිතුවක්කු කිවිවරයා ය. පොඩි තුවක්කු පමණක් නොව ලොකු තුවක්කු - බර තුවක්කු පවා ඉහළට ඔසවා, කොකා ගස්සා නිහඬව ගල් කළ සමාජයක කොඩිතුවක්කු ගේ කියමන මොන තරම් දුරට යථාර්ථයක් ලෙස අප පිළිගත යුතුද? ඉතිහාසය ගැහැනුකම පිළිබඳ නඟන ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් දී ගත නොහැකි වර්තමානය ලතැවෙයි. ඉතිං අපි අනාගතය උදෙසා ගැහැනු හැඩය කෙලෙසක ප්‍රශ්න කරමුද? එය ඒවා මෙන් හිතුවක්කාරී හැඩයක්ද, යශෝදරා මෙන් නිවුණු - තැම්පත් හැඩයක්ද, ගජමන් නෝනා බඳු කාව්‍යාත්මක හැඩයක්ද, සුජාතා හඳගම සේ විප්ලවීය හැඩයක්ද, ක්‍රිෂාන්ති කුමාරස්වාමි වැනි අසාධාරණයෙන් යට ගිය හැඩයක්ද, තමිලිනී ජෙයක්කුමාරන් බඳු පශ්චාත්තාපී හැඩයක්ද, සීතා රංජනී මෙන් දිරිය හැඩයක්ද, සේයා සදෙව්මි සේ තැළුණු කැකුළක හැඩයක්ද? (කට) උත්තර නැත !

එබඳු උත්තර නැති ප්‍රශ්න පත්තර පිටින් නැඟෙන පසුබිමක කෞශල්‍යා ජයලත් නමින් කිවිඳියක් සිය කුළුඳුල් කාව්‍යමය ප්‍රයත්නය අප අබියස තබයි. කවියකින් ගැහැනු හැඩය කියවා වටහා ගැනීම මොන තරම් දුරට යුක්තිසහගතදැයි තව ප්‍රශ්නයක් නැඟෙන්නට හැකිය. කිසිවක් ම සිදු නොවන නිශ්චලතාවයට වඩා කවියක් කියවා නැඟෙන චංචලභාවය වැදගත් විය හැකි වග පිළිතුරු ලෙසින් පැවසිය යුතුය. එබැවින් මේ කෙටි අවකාශය 'කහට ගවුමක අයිතිකාරිය' ගේ ඒ කියැවීම වෙනුවෙනි.jayalath 2 1

මේ දූපතේ ගැහැනුන් ගේ පමණක් නොව පිරිමින් ගේ ද කඳුළු වර්ග දෙකකට බෙදා වෙන්කර තිබේ. එකක් උතුරේ ත්‍රස්තවාදී කඳුළු ය. අනෙක දකුණේ දේශප්‍රේමී කඳුළු ය. මේ කඳුළු වර්ග දෙක කිසි දිනෙක එකිනෙකට සමපාත වන්නේ නැත. සියල්ල අහිමිකරලීම හේතු කොට ගෙන උතුරේ මවකගේත්, දකුණේ මවකගේත් නෙතින් ගිලිහෙනු ඇත්තේ එකම ලුණු රසැති කඳුලක් වග එකී තක්කඩි තර්කවලට ගෝචර වන්නේ ද නැත. ඛේදවාචකය එය වෙද්දී යාපනයේ සංචාරයකට ගිය මිතුරියක් තමා දුටු හමුදා කඳවුරක තතු කිවිඳියට මෙසේ පවසන්නී ය. "ඒ හමුදා කඳවුරේ වැට හදල තිබුණෙ මිරිස් ගල්වල දරුගල්වලින්." එබස් අසන කිවිඳිය මෙසේ ලියන්නී ය. 

"...කිරි සිනාවක් හැංගිලා ඇති 
ඉඳුල් කට ගෑ සතුටු කඳුලැ'ති
බිඳී කිරි දත් ගැලූ ලේ ගඟ 
කලපු දිය යට සැඟව යන්නැති 
ගලේ හිතටත් දුක හිතෙන්නැති...

...දුක කතාවක් හැංගිලා ඇති 
ගම්මිරිස් රස අග්ගලා ඇති 
එරස දන්නා සෙබළ මුළටත් 
දෙමළ අම්මල වනේ ගොදුරට 
දාල එන්නට සිද්ධ වෙන්නැති 
ගලත් අග්ගල ගිලල ඉන්නැති..."

(දරුගල් - 25 පිටුව)

'දරුගල්' සංකේතය ලෙස යොදාගෙන කිවිඳිය සමස්ථ ඛේදවාචකය ග්‍රහණය කර ගන්නා ආකාරය අපූරු ය. මංජුල වෙඩිවර්ධන ගේ 'මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි' පොතේ එන 'සපත්තුව' නම් කවිය යම් තරමකින් සිහිපත් කරවන සුළු වුව ද ඇය තමාට ම ආවේණික බස් වහරක් හසුරුවමින් මේ කවි කය කදිමට ගොඩ නංවයි. එහි එන ප්‍රභලත ම ප්‍රකාශය අපට හමුවන්නේ කවිය අග්ගිස්සේ දී ය. කිසිදා පිළිතුරක් ලැබෙතැයි අපේක්ෂාවෙන් තොරව කිවිඳිය අසන්නේ සදාකාලික ප්‍රශ්නයකි.

"සමරනු පිණිස උන් 
ගෙන ආවාද මේ ගල්?
සඟවනු පිණිස උන් 
ගෙන ආවාද මේ ගල්?"

(එම)

'ප්‍රින්සි මංගලිකා අම්මාට' හිසින් යුතු කවිය අපට යථාර්ථවත් ගැහැනු හැඩය නිතැතින් සිහිපත් කර දෙන්නකි. ඇතැමෙකුට ඇගේ කතාව මතක තිබෙන්නට ඉඩ තිබේ. විදෙස් රටක සේවයට ගොස් පැමිණි සිය සැමියා හරහා එච්.අයි.වී. ආසාදිතියක බවට පත්වන ප්‍රින්සි මංගලිකා සැමියා සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව දරුවන් දෙදෙනකු සමඟ තනි වන්නීය. පව් නොකළ අත් දහසකින් ඔවුන්ගේ නිවස ගිනිබත් වන අතර දරුවන් දෙදෙනාත් ඇයත් ගමෙන් පිටමං කෙරෙයි. නමුත් ඒ කිසිවකින් පසුබට නොවන ඇය තවත් එවැනි ම එච්.අයි.වී. ආසාදිතියක වූ වෛද්‍ය කාමලිකා අබේරත්න ගේ මඟ පෙන්වීම යටතේ එච්.අයි.වී. ආසාදිතයන් උදෙසා සිය දිවිය ම කැප කරන්නීය. පොදු සමාජීය ප්‍රතිචාරය පසාරු කරගෙන යමින් කිවිඳිය ප්‍රින්සි මංගලිකා වෙත යොමන්නේ දයාර්දවත් මෙන් ම අභිමානවත් බැල්මකි. ඇත්ත ගැහැනිය නම් මෙබඳු යැයි ඇය ඉතා සංයමයෙන් අපට පහදා දෙයි.

"...ලොවේ අපමණ අවමන් සම සිතින් ඉහිලූ තෙරණී 
වෛර වැපිරූ දෙරණක ඔබ කෙලෙස මෙලෙසින් පිපුණී 
ඔබෙ ගුණ වයනු නිසි කව් පද උගෙන නැත මා එගැන දුකිනී 
මල් පිපී නැත තව ම මේ ලොව ඔබ දෙපා පුදනු නිසි මව්නී"

(ප්‍රින්සි මංගලිකා අම්මාට - 29 පිටුව)

තරු දැරූ පොලිස් නිල මැරයන් විසින් ඇඹිලිපිටියේ දී සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයා ඝාතනය කෙරෙන්නේ ජනවාරියේ රාත්‍රියක දී ය. සැබවින් ම ජනවාරිය යනු බොහෝ සමුගැනීම් ගැඹුරින් සලකුණු වුණු මාසයකි. සුමිත් ප්‍රසන්න මිය යන විට සිය දෙවන දරු උපත සඳහා සූදානමින් සිටී ඔහු ගේ බිරිඳ මාස කීපයක ඇවෑමෙන් සිය දියණිය බිහි කරන්නේ ඇයට සිය පියා අහිමි කළ ලෝකයකට ය. තරුණ දෙදරු මව දරුවන් කිහිලි ගන්වාගෙන තවමත් සාධාරණත්වය සොයා වෙහෙසෙයි. ඇය වෙනුවෙන් කිවිඳිය ලියන කවියක අවසන නැවත නැඟෙන්නේ පිළිතුරු අහිමි ප්‍රශ්නයකි. (මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවා වූ සහකාර පොලිස් අධිකාරීවරයා ඇප ලබා පැමිණි පසු ඔහු සිය පන්සලට කැඳවූ ප්‍රදේශයේ හිමි නමක් පිරිත් නූල් බැඳ, සෙත් පතා ඔහුට ආශිර්වාද කර, ඔහුගේ ගුණ ගායනාවක් ද කර තිබුණි.)

"...මුලින් කළු පාට ජූලිය
දැන් කළු පාට ජනවාරිය 
ඉතුරු මාසත් කළු පාට වනතුරු සැතපෙන 
අපි කොයි තරම් කළු පාටද?"

(අපි කොයි තරම් කළු පාටද? - 39 පිටුව)

මෙසේ අපට අමතකව ගිය - එසේ නැතිනම් අප සිතා මතා ම අමතක කරන්නට උත්සහ කරන අඳුරු අහුමුළුවලට එල්ල වූ කිවිඳිය ගේ ගැහැනු ඇසෙහි ආලෝකය පොත පුරා තැනින් තැන දැල්වෙනු දැකගත හැකිය. එබඳු වෙසෙස් කාරණා සිය කවිය සඳහා ප්‍රස්තුත කර ගන්නා අතර ම ප්‍රේමය,විරහව, අහිමිවීම ආදී පොදු අත්දැකීම් ද ඇය තමා ගේ ම ආරකින් කවිය හරහා විනිවිදියි. කෙසේ වුව පොතෙහි එන කවි සියල්ල පරිපූර්ණත්වයට පත් වූ ඒවා හෝ හොඳ ම කවි යැයි කියා කීමට අපි ඉක්මන් නොවෙමු. තව දුරටත් සංස්කරණය විය යුතුයැයි සිතෙන නිර්මාණ ද ඒ තුළ බහා තිබෙන බව අපේ අදහසයි. ඒ විවේචනය ද එසේ ම තබා ගනිමින් මිනිස් හිස් ගැන වෙසෙස් ඇස්වලින් ලියන්නට තතනන නැවුම් කිවිඳියක ගේ කාව්‍යමය ආගමනය පිළිබඳ අපි අපේ සහෝදරාත්මක සුබ පැතුම් පළ කරමින් මේ කෙටි සටහන මෙතැනින් හමාර කරන්නෙමු. 

"...සැදෑ හිරු එනු කලින් 
ඒ මියුරු කුරුළු නද 
සුළගෙ පා කළ යුතු ම 
බව කියන ඔය නයන 

ගිමන් කළ පසු පස ම 
වසත් කාලය ඇදෙන 
මල් අරුංගල් පැළඳි 
තුරක ළා දලු සැලෙන"

(අසම්පූර්ණ කවි - 71 පිටුව)


| කසුන් සමරතුංග |