මනුෂ්‍යත්වයේ ආකර්ෂණීයත්වය ; විජය !

මනුෂ්‍යත්වයේ ආකර්ෂණීයත්වය ; විජය !

එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ වඩාත් කඩවසම් නළුවා ලෙසින්ද, ජනප්‍රියම නළුවා ලෙසින්ද වාර්තාවකට හිමිකම් කියන කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග 1945 ඔක්තෝබර් 9 වන දින කටානේදී උපත ලැබුවේ ය. කඳාන ද මැසනඩ් සහ කොටහේන ශාන්ත බෙනඩික්ට්, විජය අධ්‍යාපනය ලැබූ පාසැල් අතර වේ. ඔහුට වඩා ඉහළ පන්තියක රොබින් ප්‍රනාන්දුත්, ඔහුගේම පන්ති සගයෙකු ලෙස රවීන්ද්‍ර රන්දෙණියත් එහි අකුරු කළ බව මම අසා ඇත්තෙමි. සුදේශ් ගුණරත්නද එවකට එම විද්‍යාලයේම සිසුවෙකි. පසුකලෙක මේ හතරදෙනාම දෛවෝපගත ලෙසින් සිනමාවට සම්බන්ධ විය. විවිධ තලයන් ඔස්සේ සිනමාවේ ජයකෙහෙළි නැංවීමට සමත්විය. සුදේශ් අකල් මරණයකට පත්විය. විජය සිනමාවට සම්බන්ධවීමද අපූරු සිදුවීමකි.

පාසැල් අධ්‍යාපනයෙන් පසු විජයගේ ජීවිතය විවිධ ක්‍රියාවන් ඔස්සේ ගෙවුණකි. ගමේ තරුණ කැල හා ප්‍රජා වැඩකටයුතු මෙන්ම ඔවුන් හා එක්ව ක්‍රීඩාවෙන් කෙළිදෙලෙන්, චිත්‍රපට නැරඹීමෙන් සැහැල්ලු වින්දනයක් ලබන්නට විජය බොහෝවිට පෙළඹුනේ ය. එල්ලේ ක්‍රීඩාවට ඔහු බෙහෙවින්ම ඇලුම්කර ඇත. දරිද්‍රතාවය හොඳින් හඳුනාසිටි නිසා දුප්පත් නැතිබැරි අය කෙරෙහි කැකෑරෙන වේදනාවෙන් සිටි බව ඔහු ගැන ලියා ඇති බොහෝමයක් ලිපි මගින් මම දැක ඇත්තෙමි. ඒ නිසාම කෙදිනක හෝ දේශපාලනයට යොමුවීමේ යම් අංකූරයක් ඔහු තුලම ක්‍රමයෙන් හැදෙමින්, වැඩෙමින් පවතින්නට ඇත. විජයගේ මේ දර්ශණය පිලිබඳව ඔහුගේ ළඟම ඥාතියකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පසුකාලීනව බොහෝවිට අදහස් දක්වනු මම දැක ඇත්තෙමි.22885796 331230890674722 490199163937930197 nමා ඔබට එක්කර ඇති මේ සිතුවම 'ඔබටයි ප්‍රියේ ආදරේ' චිත්‍රපටයේ එන රූප රාමුවකින් අඳින ලද එකකි.

මේ සියල්ලටම වඩා කුමක් හෝ රැකියාවක් සොයාගැනීමට විජයගේ මූලික පරමාර්ථය වී තිබිණ. විවිධ ඇබෑර්තු සඳහා ඔහු විසින් ඉල්ලුම්පත් යොමුකිරීම නිරන්තරයෙන් සිදුවුණි. උප පොලිස් පරීක්ෂක තනතුරක් වෙනුවෙන් ඉල්ලුම් කල ඔහු ඊට සමගාමීව පුවත්පත් දැන්වීමකට අනුව චිත්‍රපටයක් සඳහා නවක නළු නිළියන් අවශ්‍යව ඇතැයි යන දැන්වීමකටද ඉල්ලුම්පතක් යොමු කළේ ය. මේ වකවානුව වනවිට ඔහු දැඩි සිනමා ලෝලියකු වී සිටියේය. ඔහුට සිනමා නළුවෙකු වීමට එවකට අතීශයින් ජනප්‍රියත්වයට පත්ව සිටි ගාමිණී ෆොන්සේකා රංගනවේදියා බෙහෙවින්ම බලපෑ බව විජය පවසා ඇත. එක්තරා උත්සවයකදී ගාමිණී මහත් හරසරින් පිළිගත් අවස්ථාවක් දැක තමාටත් නළුවෙකු වීමේ සිතුවිල්ලක් හටගත් බව එම පුවතයි. මෙහිදී විජය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවන සිදුවීමක් විය. ඔහු යොමුකළ ඉල්ලුම්පත් දෙකෙහිම සම්මුඛ පරීක්ෂණයට කැඳවුම්කර තිබුණේ එකම දිනයකදී ය. උප පොලිස් තනතුරට සිය මෑණියන්ගේ තිබූ අකමැත්ත සලකා, චිත්‍රපටය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට යාමට විජය තීරණය කළේය. එය ඔහුගේ දෛවයේ හැරවුම් ලක්ෂ්‍යය වේවි කියා එදා විජය සිතුවා හෝ නොසිතුවා විය හැකිය. පරීක්ෂණය සඳහා බොහෝ පිරිසක් සිටිනු දැක ඔහුට හැරී යන්නට සිතුනා කියා යම් සටහනක තිබූ බව මගේ මතකයේ යාන්තමට පවතී. කෙසේ හෝ තේ කෝප්පයක් බොන්නට අසල හෝටලයකට ගොස් සිටියදී එම පරීක්ෂණයටම පැමිණි කිහිපදෙනක් මුණගැසුනෙන් ඔහු නැවත පැමිණෙන්නට තීරණය කළේය. මේ හමුවූ කිහිපදෙනා අතර අමරසිරි කලංසූරිය සිටි බවක් ද කියැවේ. පසුකාලීනව ඔහු විජයගේ ඉතා සමීපතම මිතුරෙක් බවට පත්විය. 'හන්තානෙ කතාව' වෙනුවෙන් පැවති එම පරීක්ෂණයෙන් ඔහුව චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් සඳහා තෝරාගැනිණ.fghkl

සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවආරච්චි තම මුල්ම සිනමාපටය වන 'සත් සමුදුර' රූපගතකිරීමකදී සෙනග අතර සිටි උස හීන්දෑරි කඩවසම් තරුණයෙකු ගැන සඳහන් කරයි. එහෙත් දෛවෝපගතව ඇයට ඊලඟ සිනමා නිර්මාණය තුලදී මේ තරුණයා සමඟ රඟපාන්නට අවස්ථාව උදාවිය. ඔහු දුටු සැණින් මේ එදා පිරිසක් අතරේ උන් තරුණයා බව ඇය හැඳින්නාය. මෙයයි විජයගේ රූපකායේ සතු විශේෂත්වය. විජය 'හන්තානේ කතාව' චිත්‍රපටයෙහි රඟපාන අතරතුර 'මනමාලයෝ' සහ 'රොමියෝ ජුලියට් කතාවක්' යන චිත්‍රපටවල රංගනයන් ඉදිරිපත් කළේ ය. ඒ චිත්‍රපට කලින් තිරගත විය. එම යුගයේම ප්‍රේමසිරී කේමදාසයන්ගේ 'සිතිජය' ගීත නාටකයට මෙන්ම ධර්මසිරී වික්‍රමරත්නයන්ගේ 'ඔන්න බබෝ ඇතින්නියා' වේදිකා නාට්‍යයට ඔහු සම්බන්ධ විය.

කෙසේවුවද විජය ප්‍රධාන චරිතයක් කළ මුල්ම සිනමාපටය ලෙස ගැණෙන්නේ 'හන්තානෙ කතාව' චිත්‍රපටයයි. අනතුරුව 'ප්‍රියංගා' සහ 'රන් ඔන්චිල්ලා' තිරගත විය. 'රන් ඔන්චිල්ලා' චිත්‍රපටය තුල විජයගේ වැඩිමහල් සහ එකම සහෝදරයා වන සිඩ්නි කුමාරතුංගයන්ගේ රඟපෑමක් ඇතුලත්වීම විශේෂත්වයකි. එහි ඔහු චිත්‍රපටයේ කතාවට අනුව විජයගේ සහෝදරයා ලෙසින්ම රඟපායි. සිය මුල්ම චිත්‍රපටය තිරගතවීමටත් පෙර විජයට චිත්‍රපට ගණනාවක ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව උදාවුණි. එය නළුවෙකුට නොලැබෙන තරමේ ඉල්ලුමකි. ඒ අතරින් 'හතරදෙනාම සූරයෝ' විශේෂ වූ චිත්‍රපටයකි. ඒ තුළින් ගාමිණී හා රංගනයෙන් එක්වන්නට විජයට අවස්ථාව උදාවිය. එම චිත්‍රපටය තුළ දී විජය හා මාලනී ප්‍රථම වතාවට අප හමුවට පැමිණෙති. එහි ඔවුන් රඟපෑ ගීතමය ජවනිකා ඉතාමත් ප්‍රේමණීය බව කිව යුතුය. ඉදිරි කාලය තුලදී අපූරු සිනමා පෙම් යුවලක් බවට පත්වෙන ලකුණු එහිදී ඔවුහු හොඳින්ම සටහන් කළහ.

කාලයත් සමග මේ නව යොවුන් ආකර්ෂණීය සිනමා නළුවාගේ චිත්‍රපට එකින් එක ප්‍රදර්ශණය වන්නට විය. ස්වර්ණා කහවිට සමග අබිරහස, නීටා සමග කේසර සිංහයෝ, නීටා හා චන්ද්‍රකලා සමග බිඳුණු හදවත්, සමනල කුමරියෝ, පර්ල් කුරේ සමග වනරාජා වැනි චිත්‍රපට ගණනාවක් දිගහැරෙන්නට විය. මේ දෑස කුමටද සහ ආදරේ හිතෙනවා දැක්කම තුලින් නැවත මාලනී සමග එක්වීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. 1973 වර්ශයේ තිරගතවූ 'තුෂාරා' චිත්‍රපටයත් සමග විජය මාලනී යුගයක් ආරම්භ විය.

හත්දින්නත් තරු, විශ්මය, දහකින් එකෙක්, කුණ්ඩලකේෂී, සැලී, මොණරතැන්න, සුසී, සංගීතා, ගංගා, දියමන්ති, උන්නත් දාහයි මලත් දාහයි, හිතුවොත් හිතුවාමයි, පෙම්බර මධූ, එයා දැන් ලොකු ළමයෙක්, සකුන්තලා, ගීතිකා, කෝකිලා, ප්‍රදීපේ මා වේවා, බැද්දේගම, සමනල සිහින, බඹරු ඇවිත්, නැවත හමුවෙමු, දෙව්දුව, මිහිඳුම් සිහින, මධු සමය, වැනි චිත්‍රපට තුළින් ඔවුන් සිනමාවේ ආදරණීයම පෙම්‍ යුවල බවට පත්විය. ඒ හැරෙන්නට ඒ යුගයේ සිටි සෑම රූමත් ජනප්‍රිය නිළියක් සමඟම රඟපාන්නට බොහෝවිට විජයවම තෝරාගැනිණි. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා තබමින් ප්‍රදර්ශනය විය.

සටහන දිගු වන හෙයින් ඉන් කිහිපයක් පමණක් මෙහි සඳහන් කරමි. හොඳම වේලාව, සිකුරුලියා, ලස්සන දවසක්, හිඟන කොල්ලා, ගැහැනියක්, ටක් ටික් ටුක්, අංජානා, පෙරලිකාරයෝ(තනූජා), යුක්තියද ශක්තියද, ජය අපටයි, දුලීකා, ජය සිකුරුයි, මමයි රජා, නොම්මර 17, ඔබටයි ප්‍රියේ ආදරේ ඉන් සමහරෙකි. විජය/ ගීතා, විජය/ සබීතා ලෙසින්ද චිත්‍රපට ජනප්‍රිය වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. මෙහිදී විජයගේ ජනප්‍රියත්වය පිටුපස යෝධ සෙවනැල්ලක් ලෙසින් සිටි තවත් එක් අසහාය පුද්ගලයෙකු සිහිපත් කළ යුතුමය. ඒ එච්. ආර්. ජෝතිපාල ගායකයාණන්. එය අපූරු සුසංයෝගයකි. ඒ හැරෙන්නට සනත් නන්දසිරී, වික්ටර් රත්නායක, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, මොරිස් දහනායක වැනි ගායකයන්ද ඔහු වෙනුවෙන් පසුබිම ගීත ගැයුවා ය. ජෝතිපාලයන්ගේ අභාවයට පසු විජය එම කටයුත්ත තමන් විසින්ම කිරීමට තීරණය කළේ ය.

ගාමිණී ෆොන්සේකාගෙන් පසුව 1983 සිට සය වතාවක් විජය ජනප්‍රිය නලුවා ලෙසින් සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඔහු මියගිය පසුව ලැබූ සම්මානය ද මීට අයත්වේ. අනතුරුව ස්වර්ණ සංඛ, O.C.I.C., රණ තිසර සම්මානයටද පාත්‍ර විය. හොඳම ගායකයා ලෙසින් දෙවරක් (සහරාවේ සිහිනය, දොලොස්මහේ පහන) සම්මානණීය විය. ඔහු වැඩි වශයෙන් රඟපෑවේ සරල විනෝදාත්මක චිත්‍රපටවල ය. එහිදී ඔහු ඔහුටම අනන්‍ය වූ රංගනයක් ඉදිරිපත් කළේ ය. එතනින් එහාට මා ඔහුගේ රංගන ප්‍රතිභාව විහිදූ චිත්‍රපට කිහිපයක් ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. අහස් ගව්ව, පොඩි මල්ලි, කරුමක්කාරයෝ, පෙම්බර මධූ, පාර දිගේ, මහගෙදර, මධු සමය, ක්‍රිස්තු චරිත, කැඩපතක චායා, බඹරු ඇවිත්, දියමන්ති යන චිත්‍රපටවල ඔහු ප්‍රශස්ත මට්ටමක රඟපෑමක් ඉදිරිපත් කළේ ය. පෞද්ගලිකව මම 'පාර දිගේ' චිත්‍රපටයේ විජයගේ රංගනයට බෙහෙවින්ම කැමැත්තෙමි.

නළුවෙකු මෙන්ම ගායකයෙකු ලෙසින් තමාගේ රංගනයට මෙන්ම වෙනත් නළුවන් වෙනුවෙන් ද විජය ගීත ගැයුවේය. ගඟ අද්දර, ඉන්දුට මල් මිටක්, පාර දිගේ, හිම කතර, සූරියකාන්ත, ඩොරින්ගේ සයනය, රන්දෙණිගල සිංහයා, හිත හොඳ චණ්ඩියා, නොම්මර 17 යන චිත්‍රපට සඳහා ඔහු ගායනයෙන් දායක විය. රන්ජන් රාමනායකගේ 'වන් ශොට් 1' සඳහාද විජයගේ දඟ ගෙයි දඬුවම් ගීතය යොදා ගැනිණ . එමෙන්ම කැසට් පට ගායනය වෙනුවෙන්ද විජය යොමු විය. වේදනා, දිනකර පායා, සීත රැයේදී ඉන් සමහරෙකි. ඔහුගේ මුල්ම ගීත ගායනය ( රූස්ස ගහ ළඟ) උපාලි ධනවලවිතානයන්ගේ පද රචනයකි.kljaerrruihasklji

විජයගේ දේශපාලන භූමිකාව නොයෙක් මතභේදයන්ට තුඩුදුන් එකකි. ඒ ඔස්සේ සිදුවූ විශේෂතම සිදුවීම ලෙස ඔහු හා චන්ද්‍රිකා බණ්ඩාරනායක (හිටපු ජනාධිපතිනි) ගේ විවාහය නම් කළ හැක. එය ඉතා චාම් අයුරින් 1978 වර්ෂයේදී සිදුවීම විශේෂත්වයකි. ඔවුන්ගේ දරුවන් යසෝධරා සහ විමුක්ති ලෙසින් නම් කෙරිණ . විජයගේ ක්‍රියාකාරී දේශපාලනය 1975 වසරේදී ආරම්භ වුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1977 දී කටාන ආසනයට ඔහු තරඟ කළේ ය. අනතුරුව 1983 මහරටත්, 1984 දී මින්නේරිය ආසනයටත් ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණේ ය. 1983 වසරේදී මහජන පක්ෂය පිහිටුවාගැනීමෙන් අනතුරුව සියලු වාමාංශික කඳවුරු ඒකරාශි කරන අරමුණෙන් එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවා ගත්තේ ය.

විජයට මේ වකවානුව එතරම් යහපත් එකක් නොවීය. නැක්සලයිට් චෝදනාවට සිරගතවන්නට ඔහුට සිදුවිය. කෙසේවෙතත් ඉන් නිදහස් වූ ඔහු උතුර නැගෙනහිර ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට මූලික වෙමින් ශ්‍රී ලාංකිකයන් හට සාමය ගෙන එනු පිණිස මැදිහත්වී ඊට ඉදිරිපත්වීම විශේෂතම සිදුවීමකි. එහිදී ඔහුට ලැබුනේ උණුසුම් පිළිගැණීමකි. මේ සිදුවීම් සියල්ල හමුවේ ඔහුගේ ජනප්‍රසාදය එක් පැත්තකින් වැඩිවෙද්දී තවත් පැත්තකින් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්විය. එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස 1988 පෙබරවාරි 16 වෙනි දින ඔහුගේ පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටදීම ඝාතනයට ලක්විය.
එය දෙස් විදෙස්වල විජයට මහත්සේ ඇළුම් කළ සැමගේ සිත් කම්පාවට පත්කල සිදුවීමක් විය. ඔහුගේ වියෝව නිසා ඇතිවුණු සිත්තැවුල දරාගන්නට නොහැකිව අයෙකු සිය සිරුරට ගිණි තබාගෙන දිවි තොරකරගත්තේය.

අද දිනයේ ද ඒ කම්පාව එලෙසින්ම පැවතීම කෙතරම් පුදුම සහගතද.? එයයි එතෙක් මෙතෙක් විජය එක්‍ රැස් කළ ධනය.., ජනප්‍රසාදය.
විජය චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක රඟපෑමෙන් දායකවී ඇත. ඊට දමිල චිත්‍රපට දෙකක් වන යාර් අවල් සහ පනි ඔරු මගල් ද අයත්වේ.
අද දිනයේ මා ඔබට එක්කර ඇති මේ සිතුවම 'ඔබටයි ප්‍රියේ ආදරේ' චිත්‍රපටයේ එන රූප රාමුවකින් අඳින ලද එකකි. මේ ඒ රූප රාමුවේ එන ගීතයයි.

විල හා පියුම ලෙසේ
දෙදෙනා පෑහෙනවා
සසරේ ජීවනයේ
ඈ සොයලා මා එනවා.....

දයාබර විජය., මා ඔබට මොක්සුව පතනවා.!!!

සිතුවම් සහ සටහන

| ජානක ඉලුක්කුඹුර |