යළි යළි ඉපදෙන මිනිහෙක් - සිරුරෙන් මියගිය දවසක් ! ජූලි 07

යළි යළි ඉපදෙන මිනිහෙක් - සිරුරෙන් මියගිය දවසක් ! ජූලි 07

එච් ආර් කියන්නේ හියුමන් රිසෝසස්. ලෝකයට එහෙම මුත් ලංකාවෙ එය වෙනස්. ලංකාවෙ ඒ අකුරු අයිති එකම එක හියුමන් එකකට බුලට්. අලුත් අර්ථය හැදුවේ නිහාල් නෙල්සන්. ඒ අනුව එච් ආර් කියන්නේ හදවත රත්තරන්. රස ස්වර වක්කරන්. ඇද හැලුණු ගී ඇල්ලකට ඉස්තරම්. කාලය ගියත් කොයි තරම්. එයා තමයි ඉන්නෙ හදවත අත් කරන්. යන්නෙ නැහැ ඒ සද්දෙ කිසිවිට බඩුමුට්ටු අස් කරන්.

සිරිය මෙ සාරා. නැගේවි හද මෝරා. සිව්දිගින් අදටත් ඔහු බෙදන්නේ රස මදිරා. දී ප්‍රේමේ අම ධාරා. ආදරේ කියයි මෙසේ ජෝති නමැති වන බඹරා. සඳ මෝදුවෙලා නැගෙනකොටත් දුක් ගී කියන්නෙපා කොඳුරා. මී පිරුණු සුවඳ මල් වනේ වගේම ආනන්ද සාගරෙත්, තාමත් ඔහු තමයි නොනැසී ගී ගයන කිඳුරා. කොයි යන්නේ බඳ නළවාලා. හිටින්න පොඩ්ඩක් හිටින්න.. අහන්න තව වරක් රාව ප්‍රතිරාව දෙන ඒ ගී අනුරා.

මේ ගී කාටදැයි මොකටද අමුතුවෙන් කියන්නේ. එළවළු බක්කි මැද මාකට් එකේ ගියර් බොක්ස් එක ළඟ බස් එකේ සැටලිම ගහන තැන බිල්ඩින් එකේ වැල්ඩින් කරන තැන බ්ලොක් එකේ - බෝඩිමේ චමරියේ ට්‍රිප් එකේ ෆිට් එකේ සෙට් එකේ ගැයෙන - ගැයෙන - ගැයෙන එකම හඬ ෂොක් එකේ - ලක් එකේ - බොක්කටම වදින ලව් එකේ. අඬන්නෙ ඇයි සුදු මැණිකේ කඳුළු පිහදාගන්න ඇස්දෙකේ.

ලොස් වුනේ නැතත් ඒ ගෝල්ඩන් වොයිස් එක රටට. අම්මපා මිස් වුනා මාවලස් චොයිස් එක වමට. ජාති නොබැලූ මාලිගාවත්තේ ලයිෆ් එක දුක සැපට. ඇතැම්විට මේ අකුරු ලියන්නේ අන්න ඒ මගහැරුම මතක් වී හිතේ යට සැරිසරන දුකට. ලව් නිසා එක හිතට සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ අසිරිමත් ජෝතිමත් හඬට. නෝට් නොබලා නීට් එකටම කරපු ගිනි ගින්දර වර්ක් එකට.

දිය පොදක් වෙමින් තොල් වියැලෙන පවසක. රාං කුරුල්ලා ගයනවා ගී මේ වගේ සවසක. එයා සිරුරෙන් මිය ගියේ ගියේ ඊයෙ වගෙ දවසක. අදටත් මේ දූපතේ ඕනෑම පළාතක රන්වන් සිනා පෑ මනෝ මාලිගාවක, පැලක හෝ පුංචි නිවසක. ඇහෙනවා ඒ මධුර අතීතේ රැව්දුන්න කටහඬ.. අහසෙ ලියූවත් පොළොවෙ ලියූවත් නිමා කළ නොහැක නෑ සැක.

එහෙම ලිව්වත් මෙහෙම ලිව්වත් කොහොම ලිව්වත් පෙම. ඒ තමයි නිදි නැති රෑ හඳ. සමන් මල් පියල්ලෙන් මත්කරන හද. සීත මෝසම් ගී නද. නළල් තල තිලකයක පාට පොද. මා ප්‍රාර්ථනා ආශාව යළි යළි වඩන හඬ. ඔව් ඉතින් ඊයේ ජූලි හත. මේ ලියන අද විස්සයි විසි එකේ ජූලි මාසේ අට. කැට තියල කියන්නම් එක දෙයක් අද. එච් ආර් ජෝතිපාල ජීවමානයි හෙට !

-කැටිපෙ

| උපුටා ගැනීම Lanka News Web |