වසන්තය තව දුරය.

වසන්තය තව දුරය.

 

හඳුනාගැනීම

 අවුරුදු හතරකින් මෙහා එක්දින තරගයක් ක්‍රීඩා නොකළ නායකයෙක්. නිශ්චිත ආරම්භ පිතිකරු යුගලක් නොමැති පිතිකරු ලැයිස්තුවක්. පෙරහැරක් මෙන් එකා පසු පස අනෙකා දැවී යන මැද පෙළක්. ක්‍රීඩකයකුට වඩා ⁣මැදිවියේ වෙළෙන්දකු සිහිගන්වන වියපත් වේග පන්දු යවන්නෙක් පෙරටු කොට ගත් වේග පන්දු බල ඇණියක්. පිතිකරුවකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිට තාවකාලිකව පන්දු යැවීමට යොදාගත් දඟ පන්දුයවන්නෙකු ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස තෝරාගත් කණ්ඩායමක්. මේ වසර විසිතුනකට පෙර ලෝක කුසලානයක් දිනාගත් ජාතියක කණ්ඩායමක් යැයි යමෙක් පැවසුවොත් එය වසරේ විහිළුව විය හැක. නමුත්, 2019 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ එවැනි දුර්වල විහිළුවකි. සියල්ලටත් වඩා විහිළුව ශ්‍රෙණිගත කිරීම් සටහනේ නවවැනි තැන රැඳෙන ඔවුන්ට ලෝකයේ සියලු ප්‍රබල කණ්ඩායම් හා තරග වැදීමට සිදුවීමය.

z p12 Sri Lanka 1SL pushed to the ninth in the ODI rankings. - daily news

 ආරම්භය

2019 ලෝක කුසලානය ආරම්භ වන්නේ ඔවුන්ට කුසලානය දිනාගැනීමට ඇති සම්භාවිතාවය 1:150ක් ලෙස සටහන් වෙමින්ය. ඒ අනුමානයන් සැබෑ කරමින් තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් වන නවසීලන්තය හමුවේ ඔවුන් අතිශය ලැජ්ජාශීලි පරාජයකට නතු වන්නෝය. ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ළදරුවන් වන ඇෆ්ගනිස්තානයේ අත්දැකීම් මඳකමේ පිහිටෙන් තරගාවලියේ තමන්ගේ පළමු ජය වාර්තා කරගන්නෝය. ඉන් අනතුරුව ජයග්‍රහණයකට වඩා පරාජයන් බලාපොරොත්තු වූ තරග දෙකක් වැස්සට සේදී යන්නේය.

පස්වන තරගය.

ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව. ශ්‍රී ලංකා දුර්වල පන්දු යැවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෝක ශූරයන් පිටිය පුරා පහරවල් එල්ල කර දැවැන්ත ඉලක්කයක් කරා යන්නෝය. නමුත්, ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය ලාංකේය පන්දු යවන්නන් යමක් කිරීමේ ලකුණු පෙන්වන අතර ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 334කින් නවතා ගැනීමට සමත් වන්නෝය. ඉන් අනතුරුව තරගාවලියේ පළමු ලාංකේය විස්මය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ පිතිවලින් ඉදිරිපත් වන්නේය. 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසු පළමු පන්දුවාර දහය ඇතුළත ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව (87ක්) ලබා ගැනීමට දිමුත් කරුණාරත්නට සහ කුසල් ජනිත් පෙරේරාට හැකි වන්නේය. මේ තරගාවලිය ආරම්භයේදි කවුරුන් ඉනිම අරඹනවාදැයි සැලසුමක් නොතිබුනු කණ්ඩායමක පිති හරඹයයි. ඉනිම දියත් වන්නේ ලෝකයම මවිත කරවන ප්‍රාතිහාර්යක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් සිදුවෙන තැනකටය. නමුත්, සුපුරුදු පරිදි කටගොන්නක් බීගත් බේබද්දන් පරිද්දෙන් ලාංකේය මැද පෙළද ඔවුන්ට නොදැවෙනි ලෙසින් පසුපෙලද එකා පසු පසු එකා බැගින් කඩුළු පූජා කරමින් ක්‍රීඩාගාරයෙන් ආවාට වඩා වේගයෙන් හැරී යන්නෝය. අවසන් ප්‍රථිඵලය නැවතත් සුපුරුදු පරිදි අවමන් සහගත පරාජයක්. මේ පුරුදු වීමට පරාදවන කණ්ඩායමක් නොවන බැවින් කිසිවකුටත් එය පුදුමයක් නොවූ අතර සියල්ලොම සතුටින් විසිර ගියෝය.

 තරගාවලියේ 27වන තරගය ( ලෝක අවුල)

DSC 2942sl v afg CWC19 - SportsPhotography.lk

 ඒක් පසෙක ශ්‍රේණිගත කිරීම් සටහනේ අංක එක ස්ථානයේ වැජඹෙන ලෝක කුසලාන තරගයේ ඉදිරියෙන්ම සිටින එංගලන්තය. අනෙක් පසින් පරාජය දොා්තින් දරා සිටින තරගාවලියේ කාගෙත් සුරතලාවන ශ්‍රී ලංකාව.

තරග ආරම්භයේදි ශ්‍රී ලංකා ජයග්‍රහණයක් පිළිබඳව යමෙකු පැවසුවේනම් ඔහු හෝ ඇය මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු යැයි සිහි බුද්ධිය ඇති ඕනෑම අයෙකු නිර්දේශ කරනු ඇත. නමුත්, ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඊටත් වඩා අවිනිශ්චිතය.

යථාර්ථය

 ශ්‍රී ලංකා ක්‍රිකට්, ගතවුණු දෙවසර තුළ පල්ලම් බැසගිය වේගය සමාන කළ හැකි යමක් වේනම් ඒ යහපාලනයක හොරුන්ට දඩුවම් දෙනු ඇතැයි ජනතාව තබා තිබූ බලාපොරොත්තු පල්ලම් බැස යෑම පමණි. සියල්ල සිදුවූයේ අවරටය. කාඩ් කුට්ටමක් අනන්නා සේ තෝරාගන්නා කණ්ඩායම්, හෝ දහය විස්ස කියා මෙන් පත් කරන නායකයන්, තරගාවලියෙන් තරගාවලියට ලක්වන විලිලැජ්ජා සහගත පරාජයන්, ක්‍රීඩකයන්ගේ බිරින්ඳෑවරුන්ගේ ගැටුම්, පුහුණුකරුගේ විකාරසහගත හැසිරිම්….

නොපැතු දේම වෙයි

 මේ සියල්ල අතරේ ගෙවුණු පෙරවාරියේදි ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලියකදි පරාජය කරන්නෝය. අර්ජුණ රණතුංගගේ සිට මහේල ජයවර්ධණ, මහේන්ද්‍ර සිං දෝනි, ස්ටීවන් ෆ්ලෙමිං, මිස්බා උල් හක්, මොහමඩ් අසාරුදීන්, සලීම් මලික් ආදි ලෝක පූජිත නායකයන්ගෙ කණ්ඩායම්වලට නොහැකි වු දෙය දිමුත් කරුණාරත්නගේ මංගල නායකත්වය ලද කණ්ඩායම කරන්නේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්ය.

 1175083 900x506South Africa vs Sri Lanka 1st Test 2019

නොසිතු ⁣දේම වෙයි

 නමුත්, මේ ප්‍රතිවාදින් අවසන්වරට සහභාගි වූ තරගයේදි හයේ පහරවල් විසිපහක් එල්ල කර ලෝක වාර්තාවක් තැබූ කණ්ඩායමයි. තරගාවලියේ දැවැන්තම ජය ලෙස අවසන් වරට සහභාගි වූ තරගයෙන් ලකුණු 150කින් ජය ලැබූ කණ්ඩායමයි. මුල් පෙළ, මැදපෙළ පිතිකරුවන් සියල්ලන් ජීවිතයේ හොඳම රිද්මයේ සිටින කණ්ඩායමයි. ජොෆ්රා ආචර්, අදීල් රෂීඩ් ප්‍රමුඛ හොඳම පන්දු බල ඇණියයි. ඔවුන් හමුවේ නැවතත් ශ්‍රී ලංකාව තමන්ගේ සැබෑ තත්ත්වය මැනවින් පිළිඹිබු කරමින් ලකුණු 250කටත් අඩුවෙන් සීමා වන්නෝය. පෙර දින හයේ 25ක් එල්ල කල කණ්ඩායමට මෙය කජ්ජක්ද? නමුත්, ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඊටත් වඩා අවිනිශ්චිත යමකි. ඔවුන්ක්‍, ඇන්ජලෝ මැතිව්ස්ගේ පරිණත ඉනිම සහ අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹ සම්මාදමත්, ක්‍රීඩකයකු නොව මුදලාලියකු බඳු ලසිත් මාලිංගත්, පන්දු යවන්නකුද පිතිරුවකුද නොවන ධනංජය ද සිල්වාත් පෙරටු කරගනිමින් තරගාවලියේ ⁣ලොකුම අවුල නිර්මාණය කරමින් එංගලන්තය පරාජය කරන්නෝය. ඉසුරු උදානගේ සටනක් නොදී නොමියෙමි ආකල්පයත්, කුසල් ජනිත් ඇතුළුව පන්දු රකින්නන්ගේ උනන්දුවත් ( කුසල් මෙන්ඩිස් අතින් තරගය මොහොතකට බිම දැමූ බව අමතක කිරීමට හැකිනම් යෝග්‍යය.) ඊට නොමදවසම්මාදම් වූ අතර ඒ සියල්ල මනාව කළමණාකරණය කල දිමුත් කරුණාරත්නගේ නායකත්වය නොලැබුණිනම් තරගයේ තීරණය වෙනස් වීමටද ඉඩ තිබුණිය.

 ඇත්ත තත්ත්වය

 අවසානයේ දීර්ඝ ඉඩෝරයකට පසු වැහි පොදක් වැටුණි. ක්‍රීඩා ලෝලීන්ට සතුටුය. දැන් සූදානම අවසන් පූර්ව වටයට පිවිසීමේ දොරටුව විවර කර ගැනීමය. නමුත්, ඔබ මතක තබාගත යුතු යමක් ඇත. මේ තවමත් 2019 ලෝක කුසලානයට සහභාගීවන අසංවිධානාත්මකම සහ දූර්වලම කණ්ඩායමයි. තම දුර්වලකම් හදුනාගනිමින් ඔවුන් ඉදිරියට ඇදෙන ලකුණු ⁣දැනටමත් පෙන්වමින් සිටිති. එය සුබ ලකුණකි. ඔවුන් තමන්ගේ දිනයේදි උපරිමය පෙන්වනු ඇත. ඇතැම් විට මේ ප්‍රාතිහාර්යන් පෙළක ඇරඹුමද විය හැක. ඉදිරියට යාමට ඔවුන්ට හැකිවනු ඇතැයි අපිද බලාපොරොත්තු වන්නෙමු.

 නමුත්, ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඊටත් වඩා අවිනිශ්චිත යමකි.

 

|වෝටර් බෝයි|