පර්සි - The One and Only කෘතිය එළිදැක්වීම අද

පර්සි - The One and Only කෘතිය එළිදැක්වීම අද

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙස කටයුතු කරන පර්සි අබේසේකර මහතාගේ ජීවිත කතාව ඇසුරින් සකස් වූ පර්සි - The One and Only කෘතිය 2021 ජූලි 30 වන සිකුරාදා එළිදකී.  හෙතෙම දශක හතකට ආසන්න කාලයක් පුරා සක්‍රීයව ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිගැන්වීමේ නියැලී සිටී. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වැනි විශිෂ්ටයන්ගේ සිට වර්තමානය දක්වා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් හෙතෙම සමීපව ඇසුරු කර ඇත. ක්‍රිකට් පරිපාලකයන් සහ  පර්සි අබේසේකර අතර ඇත්තේ ද දැඩි සම්බන්ධතාවකි.  ඒ හා බැඳුණ රසවත් කතා රැසක් කෘතියෙහි අන්තර්ගත වේ. අබේසේකර මහතාගේ පෞද්ගලික ජීවිතයේ වැදගත් තොරතුරු ද ග්‍රන්ථයට ඇතුළත් ය. ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය වසර ගණනාවකදී වෙනස්වීම්වලට ලක්වූ අයුරුද ඉන් විස්තර කෙරේ.
කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින් ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.  1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ නායක අර්ජුන රණතුංග මහතා ඇතුලු ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් එම අවස්ථාවට සම්බන්ධ වීමට නියමිතයි. පර්සි අබේසේකර මහතාගේ 85 වන ජන්ම දිනය ද 30 වන සිකුරාදාට යෙදී තිබේ. පර්සි - The One and Only කෘතියේ කතුවරිය නීතීඥ රෂ්නිකා ලියනගේ මහත්මියයි. ස්පෝර්ට්ස්ඉන්ෆො සභාපති තිලාන් රංගන මහතාගේ සම්බන්ධීකරණ යටතේ මෙම කෘතිය රචනා කෙරිණ.  පර්සි - The One and Only ස්පෝර්ට්ස්ඉන්ෆො වෙනුවෙන්  ට්‍රියෝ මීඩියා පබ්ලිකේෂන්ස් ප්‍රකාශනයකි.