ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්ව විද්‍යාලය හෝමාගමට !

 ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්ව විද්‍යාලය හෝමාගමට !

ක්‍රීඩා හැකියාවන් සංවර්ධනය කරගනිමින් ජාත්‍යන්තරය ජයගැනීමට දරුවන් බලගැන්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අම්පාරේ පැවති උත්සවයට එක්වෙමින් සඳහන් කළේය.

මෙරට පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දියවැඩියාව වැනි රෝගවලට පවා ගොදුරු වී ඇති බැවින්, ශාරීරිකව හා මානසික ව නිරෝගී සිසු පරපුරක් බිහිකිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන බව ද විශේෂයෙන් පාසල්වල පළමු වාරය තුළ නිවාසාන්තර ක්‍රීඩා, බිග්මැච්, අධ්‍යයන චාරිකා වැනි විෂය බාහිර කටයුතු රැසක් ක්‍රියාත්මක වන්නේ ද දරුවන් තුළ නිරෝගී සහ ක්‍රියාශීලී ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, විවිධ හේතු සඳහන් කරමින් දෙමව්පියන් විසින් දරුවන් ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාවලින් ඈත්කරන්නට තැත්කිරීම නොකළයුත්තක් බව ද අවධාරණය කළේය. පින්ලන්තය වැනි රටවල් අධ්‍යාපනය අතින් ඉහළ තැනකට පත්ව ඇත්තේ කට පාඩම් කර ලියන විභාග සංස්කෘතියක් වෙනුවට ක්‍රියාකාරකම් තුළින් දරුවන් මැන බලන පරිසරයක් ඒ රටවල ගොඩනගා ඇති නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වනජීවී හා වන සම්පත් අමාත්‍ය විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර ශ්‍රියානි විජේවික්‍රම, අම්පාර, නගරාධිපති චමින්ද සුගත් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.