' Silver Dream Racer ' මගේ ජීවිතය වෙනස් කළා !

' Silver Dream Racer ' මගේ ජීවිතය වෙනස් කළා !

"මගේ දෙමව්පියන්ට ඕනි වුණේ මාව දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න.හැබැයි අවු : 14 දී මම බලපු Silver Dream Racer චිත්‍රපටය මගේ මුලු ජීවිතයම වෙනස් කරා.ඊටපස්සේ මට ඕනි වුණේ මෝටර් සයිකල් ධාවකයෙක් වෙන්න..

දවසක් මම පොඩි කාලේ ගෙදර කාර් එක පැදලා තාත්තාගෙන් හොඳටම ගුටි කෑවා.මම අඬ අඬ ඉන්නකොට අම්මා ඇවිත් කිව්වා 'කවදාහරි තමන් හම්බකරලා කාර් එකක් අරන් පදින්න.එතකොට කාගෙන්වත් ගුටි කන්නවත්,බැනුම් අහන්නවත් ඕනි නෑ' කියලා..

වයස අවු : 18 දී මගේ පළවෙනි ජාත්‍යන්තර තරගය කරා ඉන්දියාවේදි.ඒකටත් මම ගෙදරට හොරෙන් ගියේ.මගේ බයික් එක කෝච්චියේ දාගෙන කුරුනෑගලින් තලෙයිමන්නාරමට ගිහින් එතනින් Ferry බෝට්ටුවකින් තමයි ඉන්දියාවට ගියේ.ඒත් මැඩ්‍රාස් වල තිබ්බ පළවෙනි තරගය මට කරන්න දුන්නේ නෑ ලංකාවේ බලධාරීන් විසින්.ඊට සතියකට පස්සේ තිබ්බ තරගයට තමයි මට සහභාගි වෙන්න වුණේ.එතන කවුරුත් මාව ගනන් ගත්තේ නෑ.මොකද මම තමයි එතන හිටපු ලාබාලම කෙනා, ඒ වගේම එතන පරණම මෝටර් සයිකලය තිබ්බෙත් මට. ඒත් එතන හිටපු ජපන් ක්‍රීඩකයා මගෙත් එක්ක ගොඩක් හිතවත් වුණා.ඔහු ඒ වෙනකොට ශූරයෙක්.ඔහු මගෙන් අහුවා 'ඇයි ඔබ මේ පරණ බයික් එකකුත් අරගෙන මේ වගේ ජාත්‍යන්තර තරගයකට ආවේ' කියලා.මං කිව්වා : 'මට තව ගොඩක් කල් තියෙනවා ජීවිතේ.ඒ නිසා ප්‍රශ්නයක් නෑ..මම කවදහරි ලෝක ශූරයෙක් වෙනවා.ඒ වගේම මං ඔබවත් කවදහරි පරද්දනවා' කියලා.ඔහු හිනා වුණා..

ඊට පස්සේ මම මෝටර් රථ ධාවන තරගවලටත් සහභාගි වුණා.මම ලෝකේ කොහේ ගියත් රේස් එක පටන් ගන්න ආරම්භක රේඛාවේ ඉද්දී මං දකිනවා ශ්‍රී ලංකා කොඩියත් එක්ක ශ්‍රී ලාංකිකයෝ ඇවිල්ලා ඉන්නවා.ඔවුන්ට මට මුදල් වලින් අනුග්‍රහය දක්වන්න බෑ.ඒත් ඒ නිහතමානි ශ්‍රී ලාංකිකයන්ගේ අහිංසක සහයෝගය මට ගොඩක් වටිනවා..

සමහර දවසට පැය 20 ක් විතර වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් තමයි මම රේස් පදින්න ගියේ.මම ජපානයට ගියාම මට ඉන්න තැනක් තිබුණේ නෑ. වෑන් එකක තමයි මම ජීවත් වුණේ.අර ජපන් ක්‍රීඩකයව හම්බවෙන්න ගොඩක් උත්සහ කරත් බැරි වුණා..

අවුරුදු 14 කට පස්සේ ඒ ජපන් ක්‍රීඩකයා මට හම්බවුණා.එතකොට ජපානේ තිබ්බ ලොකුම තරගාවලිය වන Formula Nippon තරගාවලියට සහභාගී වීමෙන් ජපාන අගමැතිතුමා මට උපහාර දක්වලා තිබුණා. ජපන් ක්‍රීඩකයා මගෙන් ඇහුවා 'ඩිලන්ත., ඔබ මට හම්බවෙද්දි පොඩි කොල්ලෙක්. අද මටත් වඩා ඔබව ජපානේ මිනිස්සු දන්නවා, ගෞරව දක්වනවා..කොහොමද ඔබ මේක කරේ'? කියලා.ඇත්තටම අද වෙනකන් මම දන්නෙත් නෑ කොහොමද ඒක කරේ කියලා.මට හිතෙන විදිහට, ජපානේ ඉද්දි වෑන් එකක ජීවත් වුණත් කවදාවත් පාළුවක්, තනිකමක් දැනිලා නෑ..මොකද හැම තත්පරේම මම වැඩ කළේ මගේ හීනය වෙනුවෙන්.ඒකයි හේතුව..

හීනයක් නැතුව ඔබට ඒක ඉටු කරගන්න බෑ..ඒ නිසා හීන මවන්න,එහි ජීවත් වෙන්න"

| Dilantha Malagamuwa |