සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ සියලු රහස් හෙළිකරති !

සාග් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ සියලු රහස් හෙළිකරති !

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා (09) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමඟ විශේෂ හමුවකට එක්වී තිබේ. මෙම හමුව සාග් ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පමණක් සිදුවූ අතර එහිදී එක් එක් ක්‍රීඩා ඉසව්වලින් මෙවර සාග් තරගාවලිය නියෝජනය කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග බලධාරීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් අවධානයක් නොලැබුණු බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයත් ව තිබූ පහසුකම් නිසියාකාරව ලබාදෙනු වෙනුවට බලධාරීන් විසින් විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුකරන ලද බවත්, ක්‍රීඩා උපකරණ, ඇඳුම් පැළඳුම්, ආදියට මුදල් වෙන්කර තිබූ නමුත් නිසියාකාරව එම ප්‍රතිලාභ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වි නොමැති බවත් මෙහි දී අනාවරණය විය. බලධාරීන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි දක්වන ලද අනවධානය, නොසැලකිල්ල, මන්දගාමීබව නිසා යහපත් මානසික ශක්තියක් ඇතිව ආත්මවිශ්වාසයෙන් තරගවලට මුහුණ දීමට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොතිබූ බව ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අමාත්‍යවරයා හමුවේ සඳහන් කළහ.

එහිදී අදහස් දක්වමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ක්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග, අසාධාරණකම් හා අක්‍රමිකතාවයන් නොබියව අනාවරණය කරන ලෙසත්, පුද්ගලයා හෝ තරාතිරම නොබලා එවැනි ගැටළු මතුකරන කවර හෝ අයගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමට තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත්ය.