කුසලාන දෙකක් එකම පැතුමක්

Previous Next

සමස්ත රටක් එකම බලාපොරොත්තුවකට කේන්ද්‍ර කරවීමට ක්‍රීඩාවට හැකි වේ. අද එවන් දිනයකි. සියලු දුක් පීඩා ඉවසමින් එකම අපේක්ෂාවක් වෙනුවෙන් බලා සිටීමට අපට ඉඩ ලැබී ඇත.

දහවල් 1.30 ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු අවසන් තරගයට පිවිසෙති. ඔවුන් තරගයට එක්වන්නේ පසුගිය වර ශූරියන් සහ ආසියාවේ වඩාත් සාර්ථක ම දැල්පන්දු කණ්ඩායම ලෙසිනි.

1985 ආසියානු දැල්පන්දු ශූරතාවලිය ආරම්භ වූ දා සිට ශ්‍රී ලංකාව පස් වතාවක් ශූරතාව දිනා ඇත. අද අවසන් තරගයේ ප්‍රතිවාදීන් වන සත්කාරක සිංගප්පූරුව ශූරතාව දිනූ අවස්ථා තුනකි. මෙවර තරගාවලිය පුරා අපරාජිත වූ ශ්‍රී ලංකාව හමුවේ පෙර තරගයකදී සිංගප්පූරුව පරාජයට පත්විය. 

පළමු අවසන් පූර්ව තරගයේ දී හොංකොං කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්විය. සිංගප්පූරුව සහ මලයාසියාව අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ඇතැමුන් පැවසුවේ වඩා වැදගත් එම තරගය දිනන්නේ කවුද යන්නට වඩා ශ්‍රී ලංකාව පරාජය කළ හැකි කාටද යන්න බවයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයට ප්‍රවිශ්ට වන්නේ දැඩි විශ්වසනීය මෙන්ම ජයග්‍රාහී මානසිකත්වයයෙනි. හය වෙනි වතාවට ත් ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස ඔවුන් කිරුළු පළඳිනවාදැයි බලා සිටිමු.

රාත්‍රී 7.30 ට ආසියානු ක්‍රිකට් ශූරතා අවසන් තරගය ඇරඹේ. පළමු වටයෙන්ම ඉවතට විසිවනු ඇතැයි විදේශිකයින් පමණක් නොව ශ්‍රී ලාංකිකයින්ද අනාවැකි පළ කළ ශ්‍රී ලංකාව අවසන් තරගයේ ය. ප්‍රතිවාදීන් වන්නේ පාකිස්තානයයි.

1983 වසරේ ඇරඹුණු ආසියානු ක්‍රිකට් ශූරතාවේ වඩාත් සාර්ථක සහ පසුගිය ශූරයන් වූ ඉන්දියාව මෙවර අවසන් තරගයට නොමැත.  ඔවුන් අවස්ථා 07 කදී ශූරතාව දිනා ඇත. ශ්‍රී ලංකාව පස් වතාවකි.

මෙවර ඇෆ්ගනිස්තානයට එරෙහි ආරම්භක තරගය දරුණු ලෙස පරාජයට පත් වුවද එතැනින් පසු ශ්‍රී ලංකාව සටන්කාමී රිද්මයට අවතීර්ණ විය. ඕනෑම මොහොතක තරගයක් වෙනස් කිරීමට ඇති හැකියාව ඔවුහු සනාථ කරමින් සිටිති.

ආරම්භයේ සිටම අනේක අවලාද ඇසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කටමැත දෙඩූ දැවැන්තයින්ට නිහඬව ප්‍රතිචාර දැක්වූහ. මේ අවසන් අදියරයි. එකිනෙකාට ගරු කරමින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ පාඩම පෙන්වූ ඔවුන් හයවෙනි ආසියානු කුසලානය ආසන්නයේ ය. බලා සිටිමු.

රටක් ලෙස මහා ව්‍යසනයක සිටින මේ අවස්ථාවේ මේ තරග දෙකම ශ්‍රී ලාංකිකයින්ට අස්වැසිල්ලකි.  කුසලාන දෙකක් කෙරෙහි එකම පැතුමෙන් බලා සිටිමු. 

| රෂ්නිකා ලියනගේ |