නෙදර්ලන්තයට අන්ත පරාජයක්

අද පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන මූලික වටයේ තරගයෙන් නෙදර්ලන්තය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් අත් කරගත්තා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 44ක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 45ක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් වුණා.

නෙදර්ලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගයකදී දෙවන වරටත් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරගයේදී වාර්තා කළා.

2014 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං හිදී  ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයකදී ලකුණු 39කට දැවී යාම එලෙස සිදුවූ පළමු අවස්ථාවයි.

මූලික තරග ජයග්‍රහණ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 අතරට ශ්‍රී ලංකාව, නැම්බියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා තිබෙනවා.