ඒ පදක්කම මාතෘත්වය වෙනුවෙනි

Previous Next

මේ මගේ ප්‍රියතම පදක්කමයි..
ඒ පදක්කම මාතෘත්වය වෙනුවෙනි

ඇලිසන් ෆීලික්ස්... 

 "මා පැමිණි ගමන් මගෙහි මා වඩා ප්‍රිය කරන පදක්කම මෙයයි. මා මුහුණ දුන් ඇතැම් අභියෝග ඔබ දකින්නට ඇත. නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ (NICU) සිට කැමී ගේ හෘද ස්පන්දනයට සවන් දුන්නෙමි. අපට ඇය අහිමි වේයැයි මම නැවත බිය වීමි. අනුග්‍රාහකයකූ නොමැතිව කාලයක් ගෙවා දැමුවෙමි. මා විශ්‍රාම ගත යුතු ය යනුවෙන් බොහෝ දෙනා හඬ නැගූහ. නැවත සුපුරුදු ධාවන රිද්මයට අවතීර්ණ විය නොහැකියැයි මට සිතුණු දින තිබිණ. මේ මා මුහුණ දුන් අරගලවලින් කිහිපයකි. ඔබට ඔබේ මතය දැරිය හැකි බව මම දනිමි. එහෙත් තවමත් සිනාසෙන අප දෙස බලන්න. ඔබේ සහයට ස්තූතියි!  මේ පදක්කම ඔබ වෙනුවෙනි. පෙරටම යන්න."

               ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනකි

එදා මෙදාතුර ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවන් අතර ඇයට හිමි ස්ථානය සුවිශේෂයි. ඇය ගර්භණී වූ විට 'Nike' සමාගම ඇගේ අනුග්‍රාහකත්වයෙන් 70%ක් කපා දැමීය. ඊට එරෙහිව ඈ සටන් කළාය. ඇගේම ක්‍රීඩා ඇඳුම් හා පාවහන් සන්නාමයක් භාවිත කිරීම එහි එක් පියවරකි. ලොව පුරා ක්‍රීඩිකාවෝ ඇගේ සටනට සහය වූහ. මාතෘත්වය වෙනුවෙන් වූ ඇගේ සටන ජයග්‍රාහීව නිමාවිය.   'Nike' සමාගම මාතෘත්වයට අදාළ සිය ප්‍රතිපත්ති සංශෝධනය කිරීම එහි ඵලයකි.

බොහෝ දෙනා විශ්වාස කළේ ඇය මෙවර ඔලිම්පික් වෙනුවෙන් සුදුසුකම් නොලබනු ඇති බවයි. එහෙත් එය ඈ නිහඬව බිඳ දැමුවාය.  එපමණක් නොවේ. මීටර 400 අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය. එය ඈ අවසන් කළේ ලෝකඩ පදක්කමක් දිනමිනි.

ඊයේ(06) ඈ දිනාගත්තේ සිය දසවන ඔලිම්පික් පදක්කමයි. ඒ සමගින් ජැමෙයිකාවේ මර්ලින් ඔටේ දෙවැනි තැනට දමමින් වැඩිම ඔලිම්පික් ජවන හා පිටිය පදක්කම් දිනූ ක්‍රීඩිකාව බවට ෆීලික්ස් පත් වූවාය. ඇමරිකානු විශිෂ්ට ක්‍රීඩක කාල් ලුවිස් හා සම වීමට ද ඈ සමත් වූවා ය.

අද ඈ දිනූ පදක්කමේ වටිනාකම බොහෝ ඉහළය.  ඒ, ඈ මාතෘත්වය වෙත ඉන් තිළිණ කළ ගෞරවය නිසාය.  ඇලිසන් ෆීලික්ස් විශිෂ්ට මවකි. ශක්තිමත් කාන්තාවකි.

| රෂ්නිකා ලියනගේ |