මොහොතක්... ජයක්... විස්මයක්...

මොහොතක්... ජයක්... විස්මයක්...

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය ලෝකයම කම්පනයට පත් කළේ ය. විස්මය ගෙන දුන්නේය.  ඒ,  එහි අනපේක්ෂිත අවසානය හේතුවෙනි. 

 
බොහෝ දෙනා අපේක්‍ෂා කළේ ඉසව්වේ වත්මන් ලෝක ශූර ග්‍රෑන්ට් හොලවේ පහසුවෙන් ඉසව්ව ජයගනු ඇති බවයි. ඔහු මීටර 60 කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාවෙහි ද හිමිකරුවායි. ගෑන්ට් පිළිබඳ අනාවැකි සනාථ කරමින් ඔහු සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.  මීටර 80 ක් පමණ වනතුරු තරගය පැවතියේ ඔහුගේ අණසකට යටත්ව ය. 
 
අවසාන මීටර කිහිපයේ දී ඉදිරියට පැමිණෙන ජැමෙයිකාවේ හැන්සල් පාච්මන්ට්,  හොලවේ ගේ ජයග්‍රහණය ඩැහැගත්තා යැයි කීම නිවැරදිය. හොලවේ රඳවාගෙන පැමිණි ජය මොහොතකින් පාච්මන්ට් වෙත මාරු විය.  ඔහුගේ තරග නිමි කාලය තත්පර 13.04 කි. 2012 ලන්ඩන් හිදී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ හෙතෙම එය රන් බවට පරිවර්තනය කරන්නේ වසර 9 කට පසුයි. මීටර 110 කඩුලු මතින් දිවීමේ ඔලිම්පික් රන් පදක්කමට  හිමිකම් ලැබූ ලොව වයස්ගතම ක්‍රීඩකයා වන්නේ ද 31 හැවිරිදි පාච්මන්ට් ය.

 
අනපේක්ෂිත පසුබැසීමකට ගොදුරු වූ හොලවේ රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 13.09 ක කාලයක් වාර්තා කරමිනි. ඔහුට වඩා තත්පරයකින් දහයෙන් පංගුවක් පසුපසට වූ ජැමෙයිකාවේ රොනල්ඩ් ලීවි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.  ඒ සඳහා ඔහුට තත්පර 13.10 ක කාලයක් ගතවිය.
 
ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ හැන්ස්ලි පාච්මන්ට් මෙසේ පැවසීය. 
 
"මම බොහෝ වෙහෙස වුණා. අවසන් තරගයේ හිටියේ ඉසව්වේ ලොව විශිෂ්ටයන්. මේ ජයග්‍රහණය මගේ ඔලුවේ තිබුණා. මං දැන සිටියා මට අවශ්‍ය කුමක්ද කියා. මගේ පුහුණුකරු මට හැමවිට උපදෙස් දුන්නේ මගේ කොටස කරන්න කියලා. මං මගේ මං තීරුවේ ඉදිරියට ගියා. එපමණයි."
 
ඔව්. ඔබ ඔබේ මාර්ගයේ ඉදිරියටම යා යුතුය.  අනෙකාගේ මග විමසීම නිෂ්ඵල ය. වඩා වැදගත් අවසානය දක්වා අත් නොහැරීමයි. එය දිනක ඔබ පුදුම කරවනු ඇත. අද, හැන්ස්ලි පාච්මන්ට් අත්වින්දේ එයයි.
 
| රෂ්නිකා ලියනගේ |