තේරීම් කමිටුව වහාම විසිරුවනු ! ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි ප්‍රතිකාර ඒකකයට යවමු !!

තේරීම් කමිටුව වහාම විසිරුවනු !     ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි ප්‍රතිකාර ඒකකයට යවමු !!

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පරිච්ඡේදය අවසානය. බලාපොරොත්තු වූ පරිදිම කුසලානයට ගව් ගණනක් දුරින් ගමන නතර විය. කණ්ඩායම් ⁣පෙළ ගැස්වීමේ හයවැනි තැන රැඳුනෙන් කණ්ඩායමක් ලෙස එක් අතකට සතුටු විය හැකි තත්ත්වයක් යැයි වරදවා වටහා ගැනීමටද හැකිය. තරගාවලිය ආරම්භයේදි බලාපොරොත්තු වූයේ මීට වඩා දැවැන්ත අවමානයකි. නමුත්, මෙය වචනයේ පරිසමාප්තියෙන්ම පරාජයකි. අතරින් පතර සුබ ලකුණු කිහිපයක් සමග කළුවර නැති හෙටකට බලාපොරොත්තුවක් දැල්වූ නමුත් මේ පරාජයට වගකිවයුත්තන් ⁣බොහෝය. ජයග්‍රහණයට පියවරුන් දහසක් ඉදිරිපත් වුවද මේ පරාජයද නිසැක ලෙසම අවජාතක බව ඒ වගකිවයුතු පියවරුන්ම පවසනු නිසැකය. 

පරාජයට පිඹුරුපත්

srilanka worldcup jerseywww.islandcricket.lk          2015 ලෝක කුසලානයෙන් අනතුරුව බලධාරීන් තරගාවලියෙන් තරගාවලියට පුන පුනා කියා සිටියේ සියල්ල සූදානම් කරන්නේ 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන බවය. නමුත්, අවසානයේ ලෝක කුසලාන සංචිතය තෝරාගැනෙන්නේ `හෝ දහය විස්ස කිරීම` තරමට විහිළු සහගත ක්‍රියාවලියකිනි. ස්ථීර නායකයකු නොමැති කණ්ඩායම අවසානයේ පත් කෙරෙන්නේ 2015 ලෝක කුසලානයට පසු එක්දින තරගයකට ක්‍රීඩා නොකළ දිමුත් කරුණාරත්න අතටය. සංචිතය කිසි ලෙසකින්වත් තරගකාරි තරගාවලියකට තරම් නොවන මගියන් රොත්තකින් පිරවෙන්නේය. යටත් පිරිසෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකු අන්තර්ජාතික තරගකාරිත්වයකට නොහොබිනා තරමට දුර්වලය. 

තෝරාගන්නා විශේෂඥ දඟ පන්දු යවන්නා ( ජෙෆ්රි වැන්ඩර්සේ ) මුළු තරගාවලියේදිම යවන්නේ පන්දුවාර හතකි. එහිදීද ඔහු පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මට්ටමට තබා පාසල් ක්‍රීඩකයකුටවත් තරම්වත් නුසුදුසු ඇල්මැරුණු දුර්වල ක්‍රීඩා විලාශයකි. තුන් ඉරියවු ක්‍රීඩකයන් යැයි සලකා කණ්ඩායමට ඇතුලත් කරගත් දඟ පන්දුයවන්නන් දෙදෙනා ( මිලින්ද සිරිවර්ධන සහ ජීවන් මෙන්ඩිස්) දස්කම් දක්වන ඉරියවු තුන; අත කරකවා පන්දු යැවීම, පිටියට ඒම සහ පිටියෙන් ඉවත්වීම පමණය. ඔවුන් දෙදෙනාගෙන් කණ්ඩායමට වූ එකම සේවය ටීම් ෂී⁣ට් එකට නම් එකොළහක් එකතු කිරීමට සම්මාදම් වීමය. විශේෂඥ පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක් කරගත් ලහිරු තිරිමාන්න නොවන්නට ඇතැම්වට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මීට වඩා සැමරිය හැකි තත්ත්වයකින් තරගාවලිය අවසන් කිරීමටද ඉඩ තිබිණි. 

ඉසුරු උදාන තුන් ඉරියවු වේග පන්දු යවන්නකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීම සාධාරණීකරණය කර තිබියදී තිසර පෙරේරා රිංගවීම කුමන අරමුණකින් කළාදැයි දන්නේ තේරිම් කමිටුවමය. මේ තේරීම් වෙනස් වීමෙන් අවසන් ප්‍රතිඵලය වෙනස් වී ජාතික කණ්ඩායම ලෝක කුසලානය රැගෙන එන්නට තිබුණා යැයි අපි නොකියමු. නමුත්, ඒවා නොසැලකිලිමත්කම මතින්ම ගත් තීරණයන් යැයි තේරීම් කමිටුව වෙත එල්ලවන චෝදනාවලින් ගැලවිය නොහැකිය. 

කළ යුත්තේ කුමක්ද ?

z_p14-ricket_1.jpgක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට යන්තමින් හෝ යමක් කිරීමට අවැසිනම් වහාම කළ යුත්තේ මේ තේරීම් කමිටුව විසුරුවා හැරීමය. ඔවුන්ට ආදේශකය ලෙස ක්‍රීඩාවෙන් තමන් බැබළීම නොව තම ක්‍රීඩා කෞෂල්‍යයෙන් ක්‍රීඩාව බැබලවූ ශ්‍රී ලංකා නාමයට කීර්තියක් අත්කරදුන් හිටපු ක්‍රීඩකයන් අතට කණ්ඩායම තේරීමේ වගකීම පත් කිරීමය. එහි සභාපතිත්වයට සුදුසුම පුද්ගලයා අරවින්ද ද සිල්වාය. ඔහු සමග සාකච්ඡා කර සෙසු සාමාජිකයන් තෝරා ගැනීම කළ යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තවමත් ආදරය කරන හිටපු ක්‍රීඩකයන් අතරින් තේරීම් කමිටුවට සාමාජිකයන් තෝරා ගැනීම අරවින්ද වැනි ක්‍රිකට්මය මොළයකට කළ නොහැකිනම් කිසිවකුටත් එය කළ නොහැකිය.

පුහුණුකරුගේ භූමිකාව

චන්දික හතුරුසිංහ මේ මොහොතේ ලොව සිටින හොඳම පුහුණුකරුවෙකි. එහි විවාදයක් නැත. නමුත්, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරත්වයට නුසුදුස්සෙක් බව තරගාවලියට පෙරාතුවම ඔප්පු කළේය.

29athurusingha.jpgwww.cricket.com.auතිලකරත්න ඩිල්ශාන්ගේ සමුගැනීමෙන් පසු ගතවූ වසර දෙකක කාලයේ ජාතික කණ්ඩායම අත්කරගත් පරාජයන්ට මූලික හේතුව අප ක්‍රීඩකයන්ගේ හැකියාවේ මඳ බව නොව මානසිකත්ව⁣යේ ප්‍රශ්නයක් බව ක්‍රීඩා විචාරකයන් මතු නොව ක්‍රීඩා ලෝලීන්ද දිගින් දිගටම පෙන්වා දුන්නෝය. අවසානයේ කණ්ඩායමට විශේෂඥ උපදේශන සැසි පැවැත්වීමට කටයුතු සැලසුම් කෙරෙන්නේය. 
චන්දික හතුරුසිංහ කරන්නේ කුමක්ද? ඔස්ට්‍රේලියානු ජාතික විශේෂඥයෙක් යොදාගෙන `කණ්ඩායමේ මානසිකත්වය` සෑදීමට කටයුතු යෙදීමය. අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් ඉංග්‍රීසිය වැටහෙන, එපමණටම ඉංග්‍රීසිය කතා කරන කණ්ඩායමක මනස ඉංග්‍රීසියෙන් හැදීම ? සිනාසෙනවාදෝ නැතිනම් අඬනවාදෝයි වටහාගත නොහැකි විහිළු සැපයීම් යැයි කියන්නේ මෙවන් තීරණවලටය. එවැනි විහිළු සපයන්නකුගෙ ගුරු හරුකම් ලබන කණඩායමක් මේ තරම් දුර ආ එකම පුදුමයකි. ඉතින් හතුරුසිංහ, මෙවර තරගාවලියට ආ පුහුණුකරුවන් අතරින් සිව්වැනියට වැඩිම වැටුප් ලබන්නා ඔබය. ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය හොඳටෝම සෑහේය. ඔබ ගෞරවාන්විතව සමුදී යා යුතු හොඳම මොහොත මෙයයි. 

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්

04sl-kusal-drops.jpghttp://cricket.rediff.com/ක්‍රීඩා ලෝලින් සැක පහළ කළ පරිදිම මැතිව්ස්ගේ පිත්ත කතා කරන්නට ගන්නේ ශ්‍රී ලංකා කුසලාන බලාපොරොත්තුව නම් වූ අශ්වයා ඉස්තාලයෙන් පළාගිය පසුවය. තරගාවලියෙන් තරගාවලියට ඔබ කරමින් සිටින්නේ එයමය. කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකත්වය දීම වෙනුවට ඔබ කරමින් සිටින්නේ ජාම බේරා ගැනීම නම් සූදුවය. අනපේක්ෂිත මොහොතක පන්දුව අතට ගෙන කණඩායම බේරා ගැනීම වෙනුවෙන් ඔබට හිමිවිය යුතු ප්‍රශංසාව කිසිවකුටත් උදුරාගත නොහැකි මුත් කණ්ඩායමේ කොඳු නාරටිය ලෙස ඔබ තවමත් වගකීම හඳුනාගෙන නොමැතිවග සහතිකය. අවම වශයෙන් ඔබ නන්ස්ට්‍රයිකර් අන්තයේ සිටියදී, පිතිකරණයේ යෙදෙන තරුණ පිතිකරුවා පන්දු යවන්නා හමුවේ පරාජය වෙද්දි කළ යුත්තේ 'ෂිට්' කියමින් ඔහුට ඔබගේ පශ්චාත් ප්‍රදේශය පෙන්වීම නොව ඔහු වෙත ගොස් අස්වැසීමය. කලබල නොවන ලෙස හිත හැදීමය. පිතිකරුවන්ගේ `ලොකු අයියා` ලෙස එය ඔබගේ වගකීමය.
කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම අනාගතයක් ඇති පිතිකරුවාය. නමුත්, මේ ඔහුට ජාතික කණ්ඩායම් වගකීමෙන්  විවේකයක් දිය යුතු මොහොතය. පිතිකරණය පසෙක තබමු. තරග තුනකම තීරණාත්මක උඩපන්දු අතහැරීමෙන් කුසල්ගේ මානසික පීඩනය වටහාගත හැකිය.

පන්දු යවන්නකු වූ පිතිකරුවා

ජාතික කණ්ඩායමට විශේෂඥ පන්දු යවන්නකු ලෙස එක්වී පසු කාලීනව පිතිකරුවකු ලෙස තම ස්ථානය තහවුරු කරගත් ක්‍රීඩකයන් ගැන ඔබ අසා ඇත. තිලාන් සමරවීර, ශොයිබ් මලික් මෑත කාලීන හොඳම නිදසුන්ය. නමුත්, පිතිකරුවකු ලෙස එක්වී පන්දු යවන්නකු බවට රූපාන්තරණය වූ ක්‍රීඩකයෙක් ? 2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ අවාසනාවට හො වාසනාවට ( වාසනාව යැයි සිතමු) ධනංජය ද සිල්වා පිතිකරුවකු හා ඉඳහිට පන්දු යවන්නකු ලෙස එක්වී අවසානයේ නිත්‍ය දඟ පන්දුයවන්නාගේ භූමිකාවට පණ පොවන්නේය. ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තේරීම් කෙතරම් අලංකාරද ?
Related imageFile image of players of Sri Lankan cricket team.(AP)
තරගාවලි⁣ය දෙස ආපසු හැරී ⁣බැලීමේදි කණ්ඩායමට සිදුවූ ධනාත්මකම සිදුවීම හරිහමන් නායකයකු හමුවීමයි. දිමුත් කරුණාරත්න අතට පත් වන්නේ යා යුතු දිශාවක්,අරමුණක් නොමැතිව වෙරළක හිරවුණු නෞකාවකි. සේලරුවන් එකිනෙකා මරා⁣ගන්නා තරම් එකමුතුය. එවන් අවුල් ජාලාවක්, එක කණඩායමක් ලෙස හසුරුවා ගැනීමට දිමුත් දැක්වූ පරිණතබව අගය කල යුතුය. වි⁣ශේෂයෙන් හිටපු නායකයන් තිදෙනා නිසි ලෙස කළමණාකරණය කිරීම දිමුත්ගේ නායකත්ව ලක්ෂණ පැහැදිලිවම පෙන්වූ කරුණකි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට පැමිණීමත්, ස්ථාවර ආරම්භක පිතිකරු යුගලක් දිමුත් සහ කුසල් ජේගෙන් පෙන්නුම් කිරීමත් සාධනීය ලක්ෂණය. ඒ හැරෙන්නට සෙසු සියළුම අංශ වහ වහා පිළිසකර කළ නොකළහොත් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්වීමට නියමිත ඉරණම හිතාගැනීමත් අපහසුය.


මේ මොහොතේ හරි තීරණ ගැනීම හරින්ට භාරය.


| වෝටර් බෝයි |